ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් සටනට

IMC Over 50s World Cup

94
IMC Over 50s World Cup

වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද (20) සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව ලකුණු 124ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ පාකිස්තාන කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද මෙම අවස්ථාව උදා කර ගත්තා.

1 වැනි අවසන් පූර්ව තරගය

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

ශේන් ප්‍රනාන්දු (නායක), සමන් ජයන්ත, Russell Ingram, රුවින් පීරිස්, Rory Ingram (කඩුලු රකින්නා), ඉන්දික ද සේරම්, උපුල් චන්දන, දුමින්ද සෝමවීර, සුවන්ජි මදනායක, දමින්ද විජේසේකර, පූජිත උඩුවන සහ Dillon Fernandez.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

Tony Clark (නායක) Stev Mace, Ashley Hardy, Andrew Kratzmann, Andrew Sharp, Damien Meek, Glenn Giddings, Anthony Barranca (කඩුලු රකින්නා), Simon Waddington, Grant Dew, Craig Trindall සහ James Morris.

කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 298ක් ලබා ගත්තා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ රුවින් පීරිස්. ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් ලබා ගන්නවා. මෙම ශතකය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ තෙවැනි ශතකයයි.

ඔහුගේ ශතකයට අමතර ව Rory Ingram පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ද, උපුල් චන්දන පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ද සහ ඉන්දික ද සේරම් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ද ලබා ගත්තා.

එම ඉනිමේ දී රුවින් පීරිස් සහ Rory Ingram 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110ක දී ලකුණු 119ක සබඳතාවක් ද, රුවින් පීරිස් සහ ඉන්දික ද සේරම් 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 68ක සබඳතාවක් ද සහ උපුල් චන්දන සහ ශේන් ප්‍රනාන්දු 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36ක දී ලකුණු 59ක සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී James Morris කඩුලු 3ක් සහ Craig Trindall කඩුලු 2ක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 174කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී සමන් ජයන්ත ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර පූජිත උඩුවන ද ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව උපුල් චන්දනට ද කඩුල්ලක් හිමි වෙනවා.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ Andrew Kratzmann. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා. ඊට අමතර ව Ashley Hardy පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 298 (44.4) සමන් ජයන්ත 24, රුවින් පීරිස් 107, Rory Ingram 43, ඉන්දික ද සේරම් 37, උපුල් චන්දන 40, James Morris 3/34, Craig Trindall 2/58

ඕස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 174 (37.0) Ashley Hardy 37, Andrew Kratzmann 48, පූජිත උඩුවන 4/45, සමන් ජයන්ත 4/28

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 124ක ජයක්.

2 වැනි අවසන් පූර්ව තරගය

කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ලබා ගත් එංගලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 222ක් පමණයි.

එම තරගයේ දී පාකිස්තාන ඉනිම වෙනුවෙන් Sheikh Iqbal පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත් අතර එංගලන්ත ඉනිම වෙනුවෙන් Giles Ecclestone පන්දු 79කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී පාකිස්තානයේ Rehan Rauf ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පාකිස්තානය – කඩුලු 9ක් දැවී 231 (45.0) Imtiaz Ahmed 22, Muhammad Shahid 21, Sheikh Iqbal 77, Mohammed Hafeez 32, Mohammed Jawed නොදැවී 27, Marcus Sharp 2/54, Kshitij Desai 2/43, Luke Jarvis 2/33

එංගලන්තය – සියලුම දෙනා දැවී 222 (44.5) Giles Ecclestone 47, Naseer Ahmed 44, David Snellgrove 31, Charlie Knightley 40, Rehan Rauf 4/39, Mohammed Hafeez 2/39

පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 9ක ජයක්.

අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු අප්‍රිකාවඅතර බණ්ඩාරගම PUSA ක්‍රීඩාංගණයේ දී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 7ක් දැවී 154 (27.3)

දකුණු අප්‍රිකාව – කඩුලු 3ක් දැවී 155 (24.1)

දකුණු අප්‍රිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • නවසීලන්තය සහ ඉන්දියාව අතරකටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී.

ඉන්දියාව – කඩුලු 9ක් දැවී 263 (45.0)

නවසීලන්තය – සියලුම දෙනා දැවී 125 (29.1)

ඉන්දීය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 138ක ජයක්.

  • කැනඩාව සහ නැමීබියාව අතර රත්මලාන NSC ක්‍රීඩාංගණයේ දී.

කැනඩාව – කඩුලු 9ක් දැවී 331 (45.0)

නැමීබියාව – සියලුම දෙනා දැවී 124 (40.0)

කැනඩා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 207ක ජයක්.

  • සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

සිම්බාබ්වේ – සියලුම දෙනා දැවී 110 (42.2)

බටහිර ඉන්දීය කොදෙව් – කිසිවෙක් නොදැවී 112 (16.5)

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

  • ඇමෙරිකාව සහ වේල්සය අතර කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.

ඇමෙරිකාව – කඩුලු 9ක් දැවී 189 (45.0)

වේල්සය – කිසිවෙක් නොදැවී 191 (33.2)

වේල්ස් රාජ්‍ය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුල10ක ජයක්.

අද පැවැති තරගවල දී වේල්සයේ Simon Holliday ඇමෙරිකාවට එරෙහි ව පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 114ක් ලබා ගනිමින් තරගාවලියේ ශතක සමාජයට එක් වූවා.

ඊට අමතර ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Seen Ranjan, ඉන්දීය කණ්ඩායමේ Abhijit Ganguly සහ Mandar Phadke, කැනඩා කණ්ඩායමේ Aarif Talati, Uthayachelran Thurairaja සහ Ahmed Panchbhaya, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Anthony Sahadeo, වේල්සයේ Iwan Rees සහ Parak Ananta අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සම් වුනා.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 23 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<