ශ්‍රී ලංකාවේ පළමු ශතකය Rory Ingram ගෙන්

4
IMC Over 50s World Cup

Rory Ingram, ශේන් ප්‍රනාන්දු සහ සමන් ජයන්ත ගේ පිතිකරු දක්ෂතාත් සහ පූජිත උඩුවනගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 105ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (12) සමත් වුනා.

මේ ඔවුන් මෙම තරගාවලියේ දී පිට පිට ලබා ගත් තෙවැනි ජයග්‍රහණයයි.

හොරණ PUSA ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ආරම්භක පිතිකරු Rory Ingram ශතකයක් ලබා ගත් අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ පළමු ශතකයයි. ඔහු 1995/1996 තරග සමයේ දී මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරග 4කට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වන අතර මේ වන විට එංගලන්තයේ පදිංචිව සිටිනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

ශේන් ප්‍රනාන්දු (නායක), Rory Ingram (කඩුලු රකින්නා), සමන් ජයන්ත, රුවින් පීරිස්, ඉන්දික ද සේරම්,  Russell Ingram, දුමින්ද සෝමවීර, පූජිත උඩුවන, දමින්ද විජේසේකර, සුවන්ජි මදනායක, රවී පෙරේරා, Dillon Fernandez

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

Syed Rafiullah (නායක සහ කඩුලු රකින්නා), Amjad Khan, Seen Ranjan, Vijay Mehra, Rehan Khan, Asad Rizvi, Harikrishnan Sasidharan, Shahzad Ahmad, Biju Kumar, Syed Shahabuddin, B K Kulkarni

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව ඉනිම ආරම්භ කළේ Rory Ingram සහ සමන් ජයන්ත. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 97ක දී ලකුණු 111ක සබඳතාවක් එක් කළා.

එම සබඳතාව බිඳ වැටෙන්නේ සමන් ජයන්ත ගේ දැවී යෑමත් සමඟිනුයි. සමන් ජයන්ත දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා. එය ඔහු මෙම තරගාවලියේ ලබා ගත් 2 වැනි අර්ධ ශතකයයි.

අනතුරු ව පිටියට පිවිසි රුවින් පීරිස් ට අද දවස එතරම් ම වාසනාවන්ත වූයේ නැහැ. ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසියේ නායක ශේන් ප්‍රනාන්දු. ඔහු සහ Rory Ingram එක් ව පන්දු 98කට මුහුණ දෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් එක් කර සිටිය දී Rory Ingram ආබාධයකට ලක් වෙමින් පිටියෙන් ඉවත් වුනා. ඒ වෙද්දී ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 102ක් ලබා සිටියා.

ඔහු පිටියෙන් ඉවත් වීමෙන් අනතුරු ව පිටිය පිවිසි කිසිදු පිතිකරුවෙක්ට සාර්ථක වීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අනුව ඉන්දික ද සේරම් (2), Russell Ingram (3), දුමින්ද සෝමවීර (8) සහ පූජිත උඩුවන (3) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට නායක ශේන් ප්‍රනාන්දු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි දමින්ද විජේසේකර නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී , Rehan Khan සහ Syed Shahabuddin කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර  Harikrishnan Sasidharan සහ B K Kulkarni කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Amjad Khan. ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

ඔහු 2 වැනි කඩුල්ලේ දී Seen Ranjan හා එකතු වෙමින් 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49ක දී ලකුණු 54ක සබඳතාවක් තම කණ්ඩායමට එක් කළා. Seen Ranjan පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

නැවතත් ඔවුන්ගේ ඉනිමට අර්ධ ශතක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමේ උත්සාහයක යෙදිමට Rehan Khan සහ Harikrishnan Sasidharan පෙරමුණ ගත්තා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් එම සබඳතාව බිඳ දැමීමට පූජිත උඩුවන පන්දු යවන්නෙක් ලෙසත් සහ ඉන්දික ද සේරම් පන්දු රකින්නෙක් ලෙසත් දායක වුනා. ඒ අනුව එම ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 163ක් වෙද්දී දැවී ගියා.

එම කඩුල්ලට ගොදුරු වූයේ Rehan Khan. ඔහු දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ ඊළඟ පන්දුවේ දී ද තවත් කඩුල්ලක් දවා ගැනීමට පූජිත උඩුවන සමත් වූ අතර එම දැවී යෑමත් සමඟින් තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම සතු කර ගත්තා.

එතැන් සිට යැවුණ පන්දු 35ක දී ලකුණු 23ක් පමණක් ලබා දෙමින් ප්‍රතිවාදී ඉනිම සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. එහි දී පූජිත උඩුවන ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඔහුට අමතර ව සුවන්ජි මදනායක කඩුලු 2ක් ද, ශේන ප්‍රනාන්දු, Dillon Fernandez, රවී පෙරේරා සහ දමින්ද විජේසේකර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එලෙසින් දක්ෂතා දක්වද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම අවසන් මොහොත දක්වා ම ගොඩ ගැනීමට Harikrishnan Sasidharan උත්සාහ කළා. ඔහු අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුනු 34ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 291 (45.0) Rory Ingram 102, සමන් ජයන්ත 60, ශෙන් ප්‍රනාන්දු නොදැවී 84, Rehan Khan 2/47, Syed Shahabuddin 2/47  

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වයස අවුරුදු 50න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 186 (38.1) Amjad Khan 40, Seen Ranjan 35, Rehan Khan 34, Harikrishnan Sasidharan 31, සුවන්ජි මදනායක 2/61, පුජිත උඩුවන 4/27

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 105ක ජයක්.

අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය

  • දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ,BRC ක්‍රීඩාංගණයේ දී.

දකුණු අප්‍රිකාව – කඩුලු 9ක් දැවී 264 (45.0)

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී 265 (44.2)

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

  • නැමීබියාව සහ සිම්බාබ්වේඅතර කොළඹ 7, CCCක්‍රීඩාංගණයේ දී.

නැමීබියාව – සියලුම දෙනා දැවී 98 (35.5)

සිම්බාබ්වේ – කඩුලු 2ක් දැවී 99 (15.5)

සිම්බාබ්වේ වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • ඇමෙරිකාව සහ එංගලන්තය අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීයක්‍රීඩාංගණයේ දී.

ඇමෙරිකාව – කඩුලු 8ක් දැවී 196 (45.0)

එංගලන්තය – කඩුල්ලක් දැවී 197 (32.2)

එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

  • වේල්සය සහ ඉන්දියාව අතර කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

වේල්සය – කඩුලු 7ක් දැවී 217 (45.0)

ඉන්දියාව – කඩුලු 9ක් දැවී 212 (45.0)

වේල්ස වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 5ක ජයක්.

අද නිමා වූ තරගවල දී එංගලන්ත කණ්ඩායමේ Giles Ecclestone ද ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු ඇමෙරිකා කණ්ඩායමට එරෙහි ව පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගත්තා.

මේ අතර අද දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩක නාලක ප්‍රනාන්දු සමත් වුනා. ඔහු නැමීබියා කණ්ඩායමට එරෙහි ව ලකුණු 23කට කඩුලු 5ක් දවා ගත්තා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<