ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වූ තණතීරුව ගැන ICCයෙන් විශේෂ සඳහනක්!

ICC T20 Cricket World Cup 2024

204

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වුණු Nassau County අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව ICCය විසින් පිළිගෙන තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 77කට සීමා වූ අතර, බැලූ බැල්මට ම පහසු ඉලක්කයක් ලෙස දිස් වූ එම ලකුණු සංඛ්‍යාව හඹා යාමට දකුණු අප්‍රිකාවට පන්දුවාර 16ක් ඉක්මවා පිතිකරණයේ යෙදීමට සිදු වුනා.

මෙම තරගය ක්‍රීඩාංගණයේ අංක 1 තණතීරුවේ පැවැත්වුණු අතර, පසුගිය අඟහරුවාදා (05) ක්‍රීඩාංගණයේ අංක 4 තණතීරුවේ ඉන්දියාව සහ අයර්ලන්තය අතර තරගය ද පැවැත්වුණා.

එම තරගය ද ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයට සමාන අයුරින් ක්‍රියාත්මක වූ අතර, පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිම ලකුණු 96කට සීමා වුනා. එමෙන්ම එම ඉලක්කය හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 10ක් ඉක්මවමින් පිතිකරණයේ යෙදීමට සිදු වුනේ, පන්දුව අතේ වැදීම නිසා ඉන්දීය නායක Rohit Sharma ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන අතරේ දීයි.

ඉන්දු – අයර්ලන්ත තරගයෙන් පසුව ක්‍රීඩාංගණයේ තත්වය පිළිබඳ ඇති විවේචන ප්‍රමාණය ඉහළ ගිය අතර, මේ අනුවයි ICCයෙන් ක්‍රීඩාංගණයේ තත්වය පිළිබඳ ඇති විවේචන වෙනුවෙන් ප්‍රතිචාර ලබා දුන්නේ.

මෙතෙක් තරගාවලියේ දී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි Nassau County අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය බලාපොරොත්තු වූ තරම් හොඳ මට්ටමින් ප්‍රතිඵල ගෙන නොදුන් බව සඳහන් කරන ICCය විසින් ඉදිරි තරග සඳහා ලබා දිය හැකි හොඳම මට්ටමේ තණතීරු ලබා දීමට බලාපොරොත්තු වන බව අවධාරණය කර තිබුණා.

තවමත් ක්‍රීඩාංගණයේ අංක 2 සහ 03 තණතීරු භාවිතයට ගෙන නොමැති අතර, මෙම ක්‍රීඩාංගණයේ දී එළඹෙන ඉරිදා (09) දිනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්තාන තරගය ද ඇතුළුව තවත් ලෝක කුසලාන තරග 6ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<