කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට තවත් බාධාවක්

ICC කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය 2021

1252

2021 ICC කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලිය පසුගිය දා සිම්බාබ්වේ හිදී ආරම්භ වුනා. කෙසේ නමුත් අප්‍රිකානු මහද්වීපය තුල COVID-19 හි නව ප්‍රභේදයක් හමුවීමත් සමඟම අප්‍රිකානු රටවල් සඳහා ගුවන් ගමන් තහනම් පැනවීමට බොහෝමයක් රටවල් පියවර ගෙන තිබෙනවා.

ඒ නිසාවෙන් මේ තරගාවලිය සිම්බාබ්වේ දේශයෙන් වෙනත් රටකට රැගෙන යාමට ICC කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වුවත්, එය ප්‍රායෝගික නොවන බව ද වාර්තා වෙනවා.

සිම්බාබ්වේ දේශයේ පැවැත්වෙන මේ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යාමට ICC කටයුතු සූදානම් කරමින් සිටින පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ද ඊයේ (26) රාත්‍රියේ සිට අප්‍රිකානු මහද්වීපයේ සිට සිදු කරන ගුවන් ගමන් බොහෝමයක් නවතා දමා තාවකාලික සංචරණ සීමා පනවා තිබෙනවා.

ඊට අමතරව මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ද එම රටවල් වල සිට පැමිණෙන ගුවන් මගීන් සහ ශ්‍රී ලාංකික වැසියන් සඳහා තාවකාලික ගුවන් ගමන් තහනමක් පනවා තිබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එම තහනම පැනවීම නිසා, ICCයට මේ තරගාවලියේ නිමාව සටහන් කිරීම අසීරු කාර්යයක් බවට හැරී තිබෙනවා.

නොවැම්බර් 29 වැනිදාට පෙර සිම්බාබ්වේ හි සිටින ක්‍රීඩිකාවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා කැඳවීමට ICC කටයුතු සූදානම් කර සිටියා නමුත් 26 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අප්‍රිකානු මහද්වීපයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීම නිසා මේ තරගාවලිය පැවැත්වීම සහ එහි අවසානය දැඩි අවිනිශ්චිත මට්ටමක පවතින බව ද වාර්තා වෙනවා.

කෙසේ නමුත් අද (27) දිනයේ පැවැත්වීමට නියමිත තරග තුන එලෙසෙම පැවැත්වෙන බව ද දැනගන්නට ලැබෙනවා.

Geo News ඇසුරෙන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<