සුගන්දිකා කුමාරිගේ කඩුලු ත්‍රිත්වයත් සමඟින් 2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වෙනවා. බංග්ලාදේශය සමඟින් අද (28) Dubai හි ICC Academy ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රි ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයෙන් ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.
කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුව පන්දු යැවීම තෝරා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 143ක් එක් කළ අතර ප්‍රතිවාදී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලබා ගන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 110ක් පමණයි.
අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම සතු වුනා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 37ක් එක් කළා.
විශ්මි ගුණරත්න පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී ඉනිම හැර යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. අනතුරුව පිටියට පිවිසි නායිකා චමරි අතපත්තුගේ ඉනිම ලකුණකට සීමා වූවා.
ඉන් අනතුරු ව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හසිනි පෙරේරා යි. ඇය පිටියට පිවිස කෙටි වේලාවකින් හර්ෂිතා සමරවික්‍රම පිටියට හැර යනවා. ඒ වෙද්දී ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
අනතුරු ව 4 වැනි කඩුල්ලට එක් වූ හසිනි පෙරේරා සහ නිලක්ෂිකා සිල්වා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව බිහි කළා. නිලක්ෂිකා ද සිල්වා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිද්දී හසිනි පෙරේරා පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි අනුශ්කා සංජීවනී (0), සචිනි නිසංසලා (5), සුගන්ධිකා කුමාරි (නොදැවී 9) සහ අචිනි කුලසූරිය (නොදැවී 1) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා කර ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Shorna Akter ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව පන්දු යවන්නියෝ 5 දෙනෙක් අතරේ කඩුලු 5ක් බෙදී ගියා.
- මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට
- ශ්‍රී ලංකාව නැවතත් ඔස්ට්‍රේලියාවට පරාජය වෙයි
- ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව හමුවේ අසරණ වෙයි
- රශ්මිකා සහ ප්‍රමුදි නවසීලන්තය අසරණ කරයි
- කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු ද්විත්වය 5 වැනි පන්දුවාර යැවූ ඉනෝෂි ප්‍රියදර්ශනී සමත් වූවා. ඒ වෙද්දී ලකුණු පුවරුව 17ක් තිබූ අතර අනතුරු ව කඩුල්ලේ දී ලකුණු 18ක් එක් කිරීමට Murshida Khatun (5) සහ Taj Nehar සමත් වුනා.
ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙසින් පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටි Taj Nehar දැවී ගිය අතර ඒ වෙද්දී අනෙක් අන්තයේ සුරක්ෂිතව සිටියේ නායිකා Nigar Sultana.
ඇය පිටියේ සිටිය දී වමතින් දඟ පන්දු යවන සුගන්දිකා කුමාරි විසින් Shorna Akter (8), Ritu Moni (0) ඉනිමේ 14 වැනි පන්දුවාරයේ පළමු පන්දු ද්විත්වයේ දී දවා ගන්නා ලද අතර ඊට පසුව යැවුණ සීමාව ඉක්මවා ගිය පන්දුවේ දී කඩුලු රැකි ක්‍රීඩිකා අනුශ්කා සංජීවනී Rabeya Khan (0) ගේ කඩුල්ල බිඳ දමමින් ඇයට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සහයෝගය දැක් වූවා.
එම කඩුලු ත්‍රිත්වයත් සමඟින් බංග්ලාදේශ ඉනිම කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 61ක් ලෙසයි. ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී Nahida Akter (2) ද දැවී යනවා.
එම දැවී යෑමෙන් අනතුරු ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් ගොඩ නැගීමට Nigar Sultana සහ Disha Biswas සමත් වුනා. Disha Biswas පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර ඉනිමේ පන්දුවාර ප්‍රමාණය අවසන් වෙද්දී නායිකා Nigar Sultana පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සුගන්දිකා කුමාරි ලකුණු 8කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 2ක් ද, චමරි අතපත්තු, ඉනෝකා රණවීර සහ අචිනි කුලසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 143 (20.0) හර්ෂිතා සමරවික්‍රම 29, හසිනි පෙරේරා 43, නිලක්ෂිකා සිල්වා 30, Shorna Akter 2/19
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 110 (20.0) Taj Nehar 16, Nigar Sultana නොදැවී 30, Disha Biswas 25, සුගන්ධිකා කුමාරි 3/08, ඉනෝෂි ප්‍රියදර්ශනී 2/11
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 33ක ජයක්.
ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි පුහුණු තරගය ස්කොට්ලන්තය සමඟින් මේ මස 30 වැනිදා The Sevens ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<