ශ්‍රී ලංකාව ආසියානු අනුශූරියන්ගෙන් පරාජය වෙයි

ICC Women's T20 World Cup

81
ICC Women's T20 World Cup

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වල පිතිහරඹය තව දුරටත් ඒ ලෙසින් ම පැවැතීමේ වාසිය ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ අද (9) Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔවුන්ට එරෙහි ව ලකුණු 82ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ද ඉහළ දමා ගත්තා.

පිතිකාරිනියන් ගේ දුර්වලතාව දැන දැනත් මෙම තරගයේ දී ඒ මඟ ම ගිය ශ්‍රී ලංකා යවන්නියෝ 9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තමන් ගේ ගමන් මඟ පළමු වටයෙන් ම නිමා කර ගැනීම මෙම ප්‍රතිඵලයත් සමඟන් ස්තීර කර ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ දක්වා තරග 3කට සහභාගී වී ඇති අතර එම තරග ත්‍රිත්වයේදී ම ඔවුන් ලැබුවේ කර්කෂ පරාජයයි.

තවත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර එය මේ මස 12 වැනිදා නවසීලන්තය සමඟින් පැවැත්වේ.

ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා  තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතය

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, අමා කාංචනා, සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සංචිතය

 

Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Smriti Mandhana, Jemimah Rodrigues, Richa Ghosh (කඩුලු රකින්නිය), Deepti Sharma, Sajeevan Sajana, Arundhati Reddy, Shreyanka Patil, Asha Sobhana, Renuka Singh.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකවන්ගේ පළමු කඩුල්ලේ ම සබඳතාවය ලකුණු 98ක්. එහි දී ආරම්භක පිතිකාරිනියන් වූ Shafali Verma සහ Smriti Mandhana එක් ව ඒ වෙනුවෙන් වැය කරන්නේ පන්දු 77ක් පමණයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් Smriti Mandhana පන්දු 38ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 50ක් ලබා තිබිය දී දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියා. ඇයලේ දැවී යෑමෙන් අනතුරු ව පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකාරිනිය වූ Shafali Verma ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාගේ මේ සබඳතාව බිඳ දැමීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු යවන්නියෝ 5 දෙනෙක් ම යොදා ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ.

අනතුරු ව  පිටියේ එක් වූ නායිකා Harmanpreet Kaur සහ  Jemimah Rodrigues තවත් ලකුණු 30ක් ඉන්දීය ලකුණු පුවරුවට එක් කළා. එවර Jemimah Rodrigues පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටිය දී දැවී ගියා.

පෙර තරගයේ දී ආබාධයකට ලක් වෙමින් මෙම තරගයට එක්වීම අවිනිශ්චිත තත්ත්වයෙන් සිටි Harmanpreet Kaur ඉන්දීය ඉනිම අවසන් වන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැඳී සිටි Richa Ghosh නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22කට මුහණ දෙමින් නොදැවී ලකුණු 44ක සබඳතාවක් එක් කළා. ඉන් ලකුණු 38ක් පන්දු 16ක් තුළ එක් කිරීමට Harmanpreet Kaur සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී අමා කාංචනා සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ආරම්භ කළ ද ඔවුන් දෙදෙනාට මෙම තරගයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් යමක් කිරීමට හැකි වෙන්නේ නැහැ.

විශ්මි ගුණරත්න (0)ගේ ඉනිම පන්දු 2කට සීමා වූ අතර චමරි අතපත්තු (1)ගේ ඉනිම පන්දු 3ක සීමා වූවා. අනතුරු ව හර්ෂිතා සමරවික්‍රම අසාර්ථක පිතිකාරිනියක් වෙමින් තම ඉනිම පන්දු 7ක ලකුණු 3කට සීමා කර ගන්නවා.

එලෙසින් ලකුණු 6කට කඩුලු 3ක් දැවී ගිය ඉනිම යම් තරමකින් ගොඩ ගැනීමට සිව් වැනි කඩුල්ලට එක් වූ කවිෂා දිල්හාරි සහ අනුශ්කා සංජීවනී සමත් වුනා. ඔවුන් දෙදෙනා විසින් එම කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 37ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අනුශ්කා සංජීවනී ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු   22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

අනතුරු ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20ක දී ලකුණු 14ක් එක් කිරීමට කවීෂා දිල්හාරි සහ නිලක්ෂිකා සිල්වා (8) සමත් වෙනවා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 4 වැනි පන්දුවේ දී එතෙක් පිටියේ රැඳී සිටි කවීෂා දිල්හාරි ද දැවී යනවා. ඇය දැවී යන පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට ද පත් වුනා.

එතැන් සිට පිටියට පිවිසි පිතිකාරිනියන් අතුරින් අමා කාංචනා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත් අතර අනෙකුත් පිතිකාරින් වූ සුගන්දිකා කුමාරි (1), ඉනෝෂි ප්‍රියදර්ශනී (1), උදේශිකා ප්‍රබෝධනී (9) සහ ඉනෝකා රණවීර (නොදැවී 2) ලෙසින් අඩු ලකුණුවලට සීමා වුනා.

කඩුලු දවා ගැනීමේ දී Arundhati Reddy සහ Asha Sobhana කඩුලු 3 බැගින් දවා ගත් අතර Renuka Singh කඩුලු 2ක් ද, Shreyanka Patil සහ Deepti Sharma කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 173 (20.0) Shafali Verma 43, Smriti Mandhana 50, Harmanpreet Kaur නොදැවී 52, අමා කාංචනා 1/29

 

්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 90 (19.5) කවීෂා දිල්හාරි 21, අනුශ්කා සංජීවනී 20, අමා කාංචනා 19, Renuka Singh 2/16, Arundhati Reddy 3/19, Asha Sobhana 3/19

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 83ක ජයක්.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 12 වැනිදා නවසීලන්තය සමඟින් පැවැත්වේ.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<