ලෝක ශූරියන් ආසියානු ශූරියන් පරාජය කරයි

ICC Women's T20 World Cup

131
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී තමන් මුහුණ දුන් 2 වැනි තරගයෙන් ද පසු බැසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූවා. ඒ වත්මන් ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව සමඟින් අද (05) Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති ලෝක කුසලාන 5 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන්ට තම නියමිත පන්දුවාර 20 දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව පන්දු 34ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 94ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Alyssa Healy (නායිකාව සහ කඩුලු රකින්නිය), Beth Mooney, Georgia Wareham, Ellyse Perry, Ashleigh Gardner, Phoebe Litchfield, Tahlia McGrath, Annabel Sutherland, Sophie Molineux, Megan Schutt, Darcie Brown

මෙම තරගයේ දී නැවතත් සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූ නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළ ද ඔවුන්ට එතරම් ම සේවයක් සිදු කිරීමට හැකි වෙන්නේ නැහැ.

පළමු පිතිකාරිනිය ලෙසින් විශ්මි ගුණරත්න ලකුණු නොලබා ම දැවී ගිය අතර ඉන් අනතුරු ව පන්දු වාරයේ දී චමරි අතපත්තු (3) ද දැවී ගියා. ඔවුන් දෙදෙනාගේ ම දැවී යෑම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් අහිමි වෙද්දි ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ 6ක් ලෙසයි.

අනතුරු ව කවිශා දිල්හාරි ද ලකුණු 5කට දැවී ගියා. එතැන් සිට පිටියේ එක් වූ හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා. එය ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට පත් වුනා.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟන් ලකුණු 23ක් ලබා සිටිය ද දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරු ව හර්ෂිතා සමරවික්‍රම සහ අනුශ්කා සංජීවනී එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 24ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළා. එහෙත් එහි දී පන්දු 15ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටි අනුශ්කා සංජීවනි දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටුණා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6කට ලකුණු 89ක් තිබුණා.

එක් අන්තයක නිලක්ෂිකා ද සිල්වා අතරමං වෙද්දී හසිනි පෙරේරා (2), සුගන්දිකා කුමාරි (0) සහ ඉනෝෂි ප්‍රියදර්ශනී (නොදැවී 2) අඩු ලකුණුවලට සීමා වෙද්දී නිලක්ෂිකා ද සිල්වා පන්දු 40කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව නොදැවී ලකුණු 29ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Megan Schutt ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Sophie Molineux කඩුලු 2ක් ද, Ashleigh Gardner සහ Georgia Wareham කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිමේ ආරම්භය ද මන්දගාමී වුනා. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ ඔවුන් ගේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 14ක් අහිමි වූවා. එහෙත් 3 වැනි කඩුල්ලේ සිට නැවත ඉනිම ගොඩ ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූවා.

අනතුරු ව තෙවැනි කඩුල්ලට Beth Mooney සහ Ellyse Perry එක් ව ලකුණු 21ක සබඳතාවක් එක් කෙරුණ අතර එහි දී Ellyse Perry පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.

අනතුරු ව එම ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට පත් සිව් වැනි කඩුල්ලේ සබඳතාව එක් වූවා. එහි පෙරමුණ ගත්තේ Beth Mooney සහ Ashleigh Gardner (12) එක්වයි.  ලකුණු 43ක සබඳතාවක් එක් කෙරුණ එම සබඳතාව වෙනුවෙන් වැය කෙරුණේ පන්දු 40ක් පමණයි.

ඔස්ට්‍රේලියානුවෝ තරගය ජයග්‍රහණය කරද්දී ආරම්භක පිතිකාරිනී Beth Mooney පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 93 (20.0) හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂිකා සිල්වා නොදැවී 29, අනුශ්කා සංජීවනී 16, Megan Schutt 3/12, Sophie Molineux 2/20

 

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 94 (14.2) Beth Mooney නොදැවී 43, Ellyse Perry 17, සුගන්දිකා කුමාරි 1/16

 

ඔස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

ශ්‍රී ලංකාව සහභාගී වෙන තෙවැනි තරගය මේ මස 9 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් ඉන්දියාව සමඟින් පැවැත්වීමට නියමිතයි.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<