9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්විමට නියමිතයි.
A කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව.
B කාණ්ඩය – බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්.
තරගාවලිය ආරම්භ කරමින් B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ දී ආරම්භ වීමට නියමිත අතර A කාණ්ඩය නියෝජනය කරන පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට යෝජිතයි.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ගමන් මඟ
සත්කාරකත්වය | ජය | ප්‍රතිඵලය | තරගයේ වීරයා | වසර | |
1 | එංගලන්තය | එංගලන්තය | නවසීලන්තයට එරෙහි ව කඩුලු 6ක ජයක්. | Katherine Sciver-Brunt | 2009 |
2 | බටහිර ඉන්දීය කොදෙව් | ඔස්ට්‍රේලියාව | නවසීලන්තයට එරෙහි ව ලකුණු 3ක ජයක්. | Ellyse Perry | 2010 |
3 | ශ්‍රී ලංකාව | ඔස්ට්‍රේලියාව | එංගලන්තයට එරෙහිව ලකුණු 4ක ජයක්. | Jess Duffin | 2012 |
4 | බංග්ලාදේශය | ඔස්ට්‍රේලියාව | එංගලන්තයට එරෙහි ව කඩුලු 6ක ජයක්. | Sarah Coyte | 2014 |
5 | ඉන්දියාව | බටහිර ඉන්දීය කොදෙව් | ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8ක ජයක්. | Hayley Matthews | 2016 |
6 | බටහිර ඉන්දීය කොදෙව් | ඔස්ට්‍රේලියාව | එංගලන්තයට එරෙහි ව කඩුලු 8ක ජයක්. | Ashleigh Gardner | 2018 |
7 | ඔස්ට්‍රේලියාව | ඔස්ට්‍රේලියාව | ඉන්දියාවට එරෙහි ව ලකුණු 85ක ජයක්. | Alyssa Healy | 2020 |
8 | දකුණු අප්‍රිකාව | ඔස්ට්‍රේලියාව | දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 19ක ජයක්. | Beth Mooney | 2023 |
රටවල් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙන අතර තරගාවලියේ තරග 12ක් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ අනෙක් තරග 11 Sharjah ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා සෘජුව ම සහභාගී වීමේ අවස්ථාව මීට පෙර මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිත ව සිටි බංග්ලාදේශය ඇතුලු ව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමත් වුනා. ඊට අමතර ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තාන කණ්ඩායමට ද ඊට සහභාගී වීමට අවස්ථාවක් උදා වෙන අතර ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මේ වසරේ අප්‍රේල් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වෙමින් සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව තරගාවලියට එක් වෙන කණ්ඩායම් අතුරින් පළමුවෙන් ම තම කණ්ඩායම නම් කිරීමේ ගෞරවය පාකිස්තානය හිමිකර ගන්නවා. ඔවුන් අගෝස්තු මස 25 වැනිදා එලෙස කණ්ඩායම ඉදිරිපත් කරන ලද අතර එහි අවසානයා ලෙසින් සැප්තැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කෙරෙනවා.
නිමා වූ ලෝක කුසලාන තරගාවලීන් 8 අතුරින් ඔස්ට්‍රේලියාව අවස්ථා 6ක දී ම ජයග්‍රහණය කිරීමට සමත් ව ඇති අතර ඊට අමතර ව ඔවුන් 2016 වසරේ දී අනුශූරියන් බවට ද පත් ව තිබෙනවා. නිමා වු ආසන්නත ම තරගාවලි ත්‍රිත්වයේ ජයග්‍රාහකයන් වන්නේ ද ඔස්ට්‍රේලියාවයි.
මංගල කාන්තා ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය ද සහ ඊට අමතර ව 2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ද මෙම ශූරතාවට හිමිකම් කියනවා. ඊට අමතර ව නවසිලන්තයට 2009 සහ 2010 වසර ද්විත්වයේ ද, එංගලන්තය 2012, 2014 සහ 2018 වසරවල දී, ඉන්දියාව 2020 වසරේ දී ද සහ නිමා වූ ආසන්නත ම වසරේ දී දකුණු අප්‍රිකාව ද අනුශූරියන් ලෙසින් අභිශේක ලබනවා.
- T20 ලෝක කුසලානයට හැප්පෙන අපේ සිහ දෙනුන්
- අපේ කෙල්ලන් එක්ක හැප්පෙන T20 නොරට්ටු
- වමත් කසකරුවන්ගේ පෙරමුණේ රාළ “කමිඳු”
- නවසීලන්තයට එරෙහිව ලද ජයත් සමඟින් ශ්‍රී ලංකාව ලෝක ශූරතා සටනේ ඉදිරියට
- සනත් වසර කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට
කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
213/5 (20.0): එංගලන්තය විසින් 2023 වසරේ දී පාකිස්තානයට එරෙහි ව ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.
46/10 (14.4): බංග්ලාදේශය 2018 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ලත් මේ දැවී යෑම කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණයයි.
354: ඉන්දියාව (194/5) සහ නවසීලන්තය (160/9) එක් ව 2018 වසරේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය මෙතෙක් එක් තරගයක දී කණ්ඩායම් ද්විත්වයක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.
92: ශ්‍රී ලංකාව (50/3) සහ බටහිර ඉන්දීය කොදෙව් (42/8) එක් ව 2012 වසරේ දී වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය මෙතෙක් එක් තරගයක දී කණ්ඩායම් ද්විත්වයක් විසින් වාර්තා කරන ලද අඩු ම ලකුණු ප්‍රමාණයයි.
114 Runs: කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම පරතරයකින් යුත් ජයග්‍රහණය එංගලන්ත ක්‍රීඩිකාවෝ විසින් 2023 වසරේ දී පාකිස්තාන ක්‍රීඩිකාවන්ට එරෙහි ව ලබා ගන්නවා.
1066: නවසීලන්තයේ Suzie Bates විසින් තරග 36ක ඉනිම් 36ක දී වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.
126: ඔස්ට්‍රේලියාවේ Meg Lanning 2014 වසරේ අයර්ලන්ත කාන්තාවන්ට එරෙහි ව පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.
43: දකුණු අප්‍රිකාවේ දකුණතින් මඳ වේග පන්දු යවන Shabnim Ismail කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩිකාවයි. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 32කට සහභාගී වෙමින්.
5/05 (3.4): බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන Deandra Dottin 2018 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව පෑ මෙම දක්ෂතාව කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නියක ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාවයි.
169*: එංගලන්තයේ Nat Sciver-Brunt සහ Heather Knight එක් ව තායිලන්තයට එරෙහි ව 2020 වසරේ දී 3 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සබඳතාව කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවයි.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<