නවසීලන්තය ලෝක ශූර කිරුළ පළඳී

ICC Women's T20 World Cup

82
ICC Women's T20 World

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වරට ලෝක කුසලාන කිරුළ පැළඳීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ අද (20) සමත් වුනා. Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහි ව ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කරමිනුයි ඔවුන් මෙම කිරුළට හිමිකම් කීවේ. 

9 වැනි වරටත් පැවැති මෙවර තරගාවලියේ මෙතෙක් අනුශූරතාවලින් පමණකින් සෑහීමකට පත් ව සිටි කණ්ඩායම් ද්විත්වයක් වන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගය සඳහා එක් වීම විශේෂත්වයක් වුනා. ඒ අනුව පැවැති තරගයේ ජයග්‍රහණය ලබා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ එම ලේබලයෙන් ඉවත් වූ අතර පරාජිත දකුණු අප්‍රිකාවට සිදූ වූවේ තව දුරටත් එහි ම රැඳී සිටිමටයි. ඔවුන් මෙවර තරගාවලියේ මෙන් ම පෙර අවස්ථාවේ දී ද අනුශූර කණ්ඩායම ලෙසයි තරගාවලි ඉතිහාසයට එක් වූයේ.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 158ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 158ක් පමණයි.  

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායිකාව ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 16ක් වෙද්දී අහිමි වෙනවා.  

නමුත් 2 වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් ගොඩ නගමින් කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට Suzie Bates සහ Amelia Kerr සමත් වුනා. ඔවුන් දෙදෙනා අතුරින් පන්දු 31කට හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටි Suzie Bates ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  

අනතුරු ව නැවතත් නවසීලන්ත ඉනිමේ වැදගත් සේ සැලකෙන ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 4 වැනි කඩුල්ලටයි. එහි දී පෙරමුණ ගන්නේ Amelia Kerr සහ Brooke Halliday. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා.  

Brooke Halliday පන්දු 28ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. Amelia Kerr ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා.  

ඉනිම අවසන් වන විට Maddy Green (12*) සහ Isabella Gaze (3*) නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Nonkululeko Mlaba ලකුණු 31කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Nadine de Klerk, Chloe Tryon සහ Ayabonga Khaka කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ, නවසීලන්තයේ නළලත රැළි ගැන්වෙන ආරම්භයක් ලබා ගත්තා. ඔවුන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක දී ලකුණු 51ක් ලබා ගන්නවා. 

නායිකා Laura Wolvaardt සහ Tazmin Brits එක් ව මෙම දක්ෂතා කළ අතර ඒ අතුරින් Tazmin Brits ගේ ඉනිම අවසන් වීමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා. ඒ වෙද්දී Tazmin Brits පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.  

දකුණු අප්‍රිකා ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් පමණක් එක් වෙද්දී පළමු කඩුල්ලේ අනෙක් පිතිකාරිනී Laura Wolvaardt ද දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටි අතර එය මෙම ඉනිමේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ඔවුන් දෙදෙනාට අමතර ව Chloe Tryon (14) සහ Annerie Dercksen (10) ඉලක්කම් 2 ලකුණු ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකාරිනියකට එක් ඉලක්කමින් මෙහාවට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.  

පන්දු යැවීමේ දී Amelia Kerr සහ Rosemary Mair කඩුලු 3ක් බැගින් දවා ගනිමින් නවසීලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ අතර ඊට අමතර ව Brooke Halliday, Eden Carson සහ Fran Jonas ද කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 158 (20.0) Suzie Bates 32, Amelia Kerr 43, Brooke Halliday 38, Nonkululeko Mlaba 2/31 

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 126 (20.0) Deandra Dottin 33, Afy Fletcher නොදැවී 17, Eden Carson 3/29, Amelia Kerr 2/14 

 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 32ක ජයක්.  

  • තරගයේ වීරයා – Amelia Kerr (නවසීලන්තය) 

මෙම අවසන් මහා තරගයේ පිටියේ විනිසුරුවරියක ලෙසින් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමාලි පෙරේරා කටයුතු කළා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<