අහිමි කිරුළක පරාජිත ගමනාන්තය

ICC Women's T20 World Cup

103

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ගමන නිමා වෙන්නේ පළමු වටයේ සියලුම තරග පරාජය වෙමින් සහ තමන් සහභාගී වූ කාණ්ඩයෙන් අවසන් ස්ථානයට ද පත් වෙමිනුයි.  

මෑත කාලයේ ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මේ හදිසි කඩා වැටීම ගැන ඇත්තේ උභතෝකෝටියක්. මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම කඩා වැටෙද්දී ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ශනය වූ අයුරුත්, ඔවුන්ගේ දක්ෂතා පෙන්වා දෙමින් ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් විචේනය කරන තරමටත් ඒ දක්ෂතා ඉදිරියෙන් තිබුණා.   

නමුත් ඒ සියල්ල අද විනාශ වී ඇති අතර ඔවුන් කෙරෙහි පැවැති විශ්වාසය ද අහිමි කර ගෙන තිබෙනවා. ක්‍රිකට්වල ස්වභාවය මේ යැයි පවසමින් මෙම පරාජය එතැනට ලඝු කිරීමේ හැකියාවක් පැවැතිය ද එය අනාගතයට එතරම් ම ගෝචර නැහැ. එබැවින් අප කළ යුත්තේ කාන්තා ක්‍රිකට් මේ තැනට පත් වූයේ ඇයි ද යන්න විමසා බලා ඊට ඉතා ඉක්මනින් ම පිළියම් යෙදීමයි.  

එසේ වන්නේ, මෙය කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පෑ දුර්වල ම ක්‍රීඩා විලාසය හේතුවෙනුයි. මීට පෙර පැවැති සෑම ලෝක කුසලාන තරගාවලියකට ම සහභාගී වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ සෑම අවස්ථාවක දී ම එක් තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් වෙන අතර, තමන් සහභාගී වූ කාණ්ඩයෙන් අවසන් ස්ථානයට ද පත් වී නැහැ.  

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා ගමන් මඟ 

  Host  Year  Group  Place  M  W  L  T  NR  PT  NRR 
1  එංගලන්තය  2009  B  3  3  1  2  0  0  2  -1.207 
2  බ. ඉ. කොදෙව්  2010  B  3  3  1  2  0  0  2  -1.950 
3  ශ්‍රී ලංකාව  2012  B  3  3  1  2  0  0  2  -0.692 
4  බංග්ලාදේශය  2014  B  4  4  1  3  0  0  2  -0.437 
5  ඉන්දියාව  2016  A  3  4  2  2  0  0  4  -0.240 
6  බ. ඉ. කොදෙව්  2018  A  4  4  1  2  0  1  3  -1.171 
7  ඔස්ට්‍රේලියාව  2020  A  4  4  1  3  0  0  2  -0.404 
8  දකුණු අප්‍රිකාව  2023  A  4  4  2  2  0  0  4  -1.460 
9  UAE  2024  A  5  4  0  4  0  0  0  -2.173 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක් වෙන්නේ ආසියානු ශූරියන් ලෙසිනුයි. ඔවුන් සමඟ ආසියානු ශූරතාවලියට එක් වූ පාකිස්තානය සහ ඉන්දියාව ද මෙම තරගාවලියේ මෙම කාණ්ඩයෙන් ම තරගාවලියට එක් වීම විශේෂත්වයක්.  

කෙසේ වෙතත් එම කණ්ඩායම් ද්විත්වයට වඩා ආසියානු ශූරියන් ලෙසින් තරගාවලියට එක් වීම ම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේ දී සුවිශේෂී යමක් කරතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශ්වාසය වුනා. නමුත් ඔවුන් ට එකී බලාපොරොත්තුව ඉටු කිරිමට හැකි වෙන්නේ නැහැ. 

ඔවුන්ට මෙවර තරගාවලිය නිමා කරන්නට සිදු වෙන්නේ සහභාගී වූ කණ්ඩායම් 10 දක්ෂතා අනුව ලැයිස්තු ගත කරන්නේ නම් එහි 9 වැනි ස්ථානයට පත් වෙමිනුයි. 

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ 

  ප්‍රතිවාදීන්  තරගයේ ප්‍රතිඵලය  ක්‍රීඩාංගණය 
1  පාකිස්තානය  ශ්‍රී ලංකාවට ලකුණු 31ක පරාජයක්.   Sharjah 
2  ඔස්ට්‍රේලියාව  ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්.  Sharjah 
3  ඉන්දියාව  ශ්‍රී ලංකාවට ලකුණු 82ක පරාජයක්.  Dubai 
4  නවසීලන්තය  ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්.  Sharjah 

මෙම පරාජිත තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වූ තරග 4 දී ලබා ගත් ලකුණු එකතුව 383ක් වන අතර ඒ වෙනුවෙන් ඔවුන් බිලිඳුන් කඩුලු ප්‍රමාණය 31ක්. ඔවුන් මෙම තරග 4 දී ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු එකතු ව 500ක් වන අතර ඒ වෙනුවෙන් ඔවුන් බිලි ගන්නේ කඩුලු 19ක් පමණයි.  

එම දත්ත දෙස බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය සේ ම  පන්දු යවන්නන්ගේ අංශය ද මේ තරගාවලියේ දී කළ කිසිවක් ම නොමැති තත්ත්වයේයි පවතින්නේ. එවන් විටක දී කණ්ඩායමක් ගොඩ යන්නේ කෙසේද?  

නිමා වූ තරග අතුරින් ආසියානු අනුශූරියන් වූ ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු 3කට ලකුණු 172ක් ලබා ගන්නා ලද අතර එය මෙවර තරගාවලියේ ප්‍රතිවාදී කණ්ඩායමක් අප කණ්ඩායමට එරෙහි ව ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවට ද පත් වූවා.  

එය ඉන්දීය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර ඔවුන්ගේ එම දක්ෂතාව වී තිබුනේ 2018 වසරේ දී ඔවුන් මෙරට දී කඩුලු 8ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 168යි.  

20 හැවිරිදි වියේ පසුවෙන නවසීලන්ත ක්‍රීඩිකා Georgia Plimmer ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ව පන්දු 58ක දී ලකුණු 53ක් ලබා ගන්නා ලද එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක් විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව පෑ ඉහළ ම දක්ෂතාව වූ අතර එම ඉනිම ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද බවට පත් වුනා.  

ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් එලෙසින් ශ්‍රී ලංකාවට එරෙහි ව දක්ෂතා දක්වද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉතා දුර්වල මට්ටමක පැවැතියා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය බවට පත් වූයේ නිලක්ෂි සිල්වා. ඇය තරග 4 දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 73ක්. 

ඊට අමතර ව හර්ෂිතා මාධවී තරග 4ක දී ලකුණු 51ක් ලබා ගන්නා ලද අතර අනුෂ්කා සංජීවනී තරග 4 දී ලකුණු 46ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් වෙනවා.  

ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලෝකයේ ම වඩාත් අවධානයට ලක් ව සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට මෙම තරගාවලියේ දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 45ක් පමණයි. ඉන් ලකුණු 35ක් ම තරගාවලියේ අවසන් තරගය වූ නවසීලන්තයට එරෙහිවයි වාර්තා වෙන්නේ. ඊට පෙර තරග ත්‍රිත්වයේ දී ඇයගේ ලකුණු පෙළගැස්වීම 6-3-1ක් ලෙසිනුයි දැක් වුණේ.  

මංගල ලෝක කුසලාන තරගාවලියේ සිට ම ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් ව සිටි චමරි අතපත්තු තරග 3කට වැඩියෙන් ක්‍රීඩා කරන ලද තරගාවලියන් හි දී ක්‍රීඩා කරන ලද දුර්වල ම තරගාවලියයි මේ. මීට පෙර ඇය ගේ දුර්වල ම තරගාවලිය ලෙසින් සැලකෙන්නේ 2012 වසරේ දී මෙරට දී පැවැති තරගාවලියේ දී ඉනිම 4ක දී වාර්තා කරන ලද ලකුණු 47යි.  

එමෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත අනෙක් ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්නට ද මෙවර තරගාවලිය සාර්ථක ව අවසන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ඇයගේ ඉනිම් ලැයිස්තුව පෙළගැස් වුණේ 20-0-0-8ක් ලෙසයි. පිතිකාරිනියන් ලෙසින් තරගාවලියට එක් වූ ක්‍රීඩිකාවන් අතුරින් කවීෂා දිල්හාරි තරග 4 දී ලකුණු 39ක් ලබා ගනිමින් පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත් වෙනවා.  

පිතිකාරිනියක ලෙසින් අසාර්ථක වූ චමරි අතපත්තු මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය වීමට සමත් වෙනවා. අන් කණ්ඩායම්වල පන්දු යවන්නියන් හා ගත් කළ මෙය සුළු දක්ෂතාවක් සේ ලැයිස්තු ගත වූවත් ඇය කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ලැයිස්තුව ආරම්භ කරනවා. එමෙන් ම තරගාවලියේ ඉනිමක දක්ෂතම පන්දු යැවීම වාර්තා කළ ක්‍රීඩිකාව ලෙසින් ද ඇය පෙරමුණ ගන්නවා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමිනුයි.  

පන්දු යවන්නියන් ලැයිස්තු ගත කිරීමේ දී සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 4ක් බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙන අතර ඊට අමතර ව අමා කාංචනා, ඉනෝකා රණවීර, සචිනි නිසංසලා සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.  

මේ දත්ත කිසිවක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීකට් ක්‍රීඩාවේ දියුණුවට එක් වෙන ඒවා නොවේ. මේ ගණන් හිලව් තුළ ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සීග්‍ර කඩා වැටීමයි. මිට මාස 3කට පෙර ආසියානු ශූරියන් ලෙසින් අභිශේක ලබා ඒ උණුසුම නිමා වීමට මත්තෙන් ලැබූ නින්දිත පරාජයක ඉලක්කම් එකතුවකුයි.  

එය වෙනස් කිරීමේ සේ ම ඊට තව තවත් ඉලක්කම් එකතු කිරීමේ වගකීම පැවැරෙන්නේ පරාජිත කණ්ඩායමේ ම සාමාජිකාවන්ටයි. ඇතැම් විට ඉදිරියේ දී මේ එකතුවෙන් එක් අයෙක් දෙදෙනෙක් ඉවතට විසි වූව ද වැඩි ක්‍රීඩිකාවෝ ප්‍රමාණයක් ම මෙහි රැඳී සිටිතැයි විශ්වාස කරමු.   

එබැවින්, මේ වැටිම ඉහළ දැමීමේ වගකීම ඔවුන් වෙත ම පැවැරෙන යුතුකමක් බවට පත් වීම වැලැක්විය නොහැකියි. අපි ඔවුන්ගේ ඒ ක්‍රියාදාමයන් දෙස බලාපොරොත්තු සහගත ව බලා සිටිමු. ඒ මෙහෙය ඉටු කිරීමට ඔවුන්ට සුබ පැතුම් එක් කරමු! 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<