කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයෙන්ම ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (10) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කර දමමින්.
මනස්කාන්ත කඳු පන්තියකින් වටවී ඇති කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය ජය ගැනීමට දකුණු අප්‍රිකා නායිකා Sune Luus සමත් වුනා. ඒ අනුව ඇය තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ නායිකා චමරි අතපත්තු සමඟින් හර්ෂිතා මාධවීයි.
පසුගිය කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු අතර සිටි එකම පිතිකාරිණිය වූ 24 හැවිරිදි හර්ෂිතා මාධවී ගැන බොහෝ දෙනා බලාපොරොත්තු තබා තිබුනත්, මෙම නුපුරුදු තණතිල්ල මත දී ඇය නිරුත්තර වුනා. හර්ෂිතා පන්දු 20කට මුහුණ දී ලබා ගත්තේ ලකුණු 08ක් පමණයි.
මේ නිසාම ශ්‍රී ලංකාවට පළමු පන්දුවාර 3ටම ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 04ක් පමණයි. කෙසේ වෙතත් හර්ෂිතාගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි 17 හැවිරිදි විශ්මි ගුණරත්නගෙන් ප්‍රේක්ෂකයින් ආශ්චර්යක් අපේක්ෂා නොකළ ද ඇය අද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් මවිත කළා.
දකුණතින් පිතිකරණයේ යෙදෙන විශ්මි අද පන්දු 34කට මුහුණ දෙමින් ලකුණු 35ක් රැස් කළේ අනෙක් අන්තයේ සිටි අත්දැකීම් බහුල තම නායිකාවගේ පීඩනයත් දියකර හරිමිනුයි.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ඇය පසුගිය 19න් පහළ ලෝක කුසලානයේ දී 44.66ක ලකුණු සාමාන්‍යයක් සමඟින් මුළු ලකුණු 134ක් රැස් කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය බවටත් පත්වුනා.
ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලැබීමට නම් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතු චමරි අතපත්තුගේ පිත්ත අද ක්‍රියාත්මක වූ අතර ඇය පන්දු 50ක දී වේගවත් ලකුණු 68ක් රැස් කළා. ඒ දෑස් පිනවන අලංකාර හතරේ පහර දුසිමක් ද සහිතවයි. මේ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 114 දීයි.
එහි දී ක්ෂණික ලකුණක් කරා දිව යාමට උත්සාහ කළ විශ්මි ගුණරත්නව පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කරමින් දවා ගැනීමට Tazmin Brits සමත් වුනා. එම පන්දුවාරයේම ඊළඟ පන්දුවට චමරි අතපත්තු දැවී යන්නේ Deep Square Leg පන්දු රකින්නිය ගුවනට පිවිසෙමින් රැකගත් උඩපන්දුවක් හමුවේයි.
18 වැනි පන්දුවාරයේ දී චමරිගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 150 ඉලක්කය බොඳ වූ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 129කින් සෑහීමකට පත් වන්නට සිදු වුනා. පන්දු යැවීමේ දී Shabnim Ismail, Marizanne Kapp සහ De Klerk අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
- ලක්ෂිතගේ පන්දු යැවීම හමුවේ ලයන්ස් යන්තමින් ගැලවෙයි
- අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින තීන්දුයි
- ශ්‍රී ලංකා -නවසීලන්ත තරගාවලි කාලසටහන නිකුත් කරයි
- පළමු 19න් පහළ බාලිකා T20 ලෝක කුසලානය ඉන්දියාවට
ලකුණු 130ක් යනු සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට දුෂ්කර ඉලක්කයක් නොවන බව මුල දී පෙනෙන්නට තිබූ අතර ඔවුන් පළමු කඩුල්ලටම ලකුණු 29ක් එකතු කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් වැඩි වශයෙන් අතිරේක ලකුණු ලබා දීම ද එයට හේතු වුනා. එම සබඳතාවය අවසන් කරන්නේ 36 හැවිරිදි ඕෂධී රණසිංහයි.
අවශ්‍ය ලකුණු වේගය සමඟ පරිස්සමෙන් අදාළ ඉලක්කය වෙත ගමන් කරමින් සිටි දකුණු අප්‍රිකාව මුල් වරට සලිත වන්නේ ඉනෝකා රණවීර පන්දුව අතට ගැනීමත් සමඟයි. වර්තමානයේ හොඳ රිද්මයක සිටින ඇය තම මුල් පන්දුවාර දෙකේ දී ම කඩුලු 2ක් දවා ගන්නේ ප්‍රතිවාදීන්ගේ ලකුණු වේගය ද අඩාල කර දමමිනුයි.
13 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ සුගන්ධිකා කුමාරි එහි දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වීම තරගයේ සන්ධිස්ථානය ලෙස සැලකිය හැකි අතර දකුණු අප්‍රිකා ලකුණු පුවරුව මේ නිසා 72/5ක් ලෙස වෙනස් වුනා. මේ අනුව ශ්‍රී ලංකාවට එකම හිසරදය වුනේ නොදැවී ලකුණු 28ක් ලබා සිටි නායිකා Sune Luusව පිටියෙන් ඉවත් කර ගැනීමයි.
19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට නැවතත් ඉනෝකා රණවීර කැඳවන මොහොත වන විට දකුණු අප්‍රිකාවට අවසන් පන්දුවාර 2ට ලකුණු 20ක් අවශ්‍ය කර තිබුණා. එහි දී නැවතත් විශිෂ්ට පන්දු යැවීමක යෙදෙන ඉනෝකා රණවීර, දකුණු අප්‍රිකානු නායිකාව දවා ගනිමින් ශ්‍රී ලංකාව දෙසට තරගය හරවා දුන්නා.
අවසන් පන්දුවාරය වන විට ශ්‍රී ලංකාව අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමට දඬුවමක් වශයෙන් යාර 30 සීමාවෙන් පිටත පන්දු රකින්නියන් සිව් දෙනෙක්ගෙන් පමණක් ක්‍රීඩා කිරීමට ද ඔවුන්ට සිදු වුනා. ලකුණු 13ක් ලබා ගැනීමට තිබූ මෙම පන්දුවාරය ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂා කර දුන්නේ සුගන්ධිකා කුමාරියි.
ශ්‍රී ලංකාවට ලකුණු 03ක තියුණු ජයක් ලබා දෙමින් තරගය අවසන් වනවිට දකුණු අප්‍රිකානු ඉනිම දැක්වුනේ කඩුලු 9කට ලකුණු 126ක් ලෙසයි. තරගයේ වීරවරිය ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සම්මාන හිමිකර ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Harshitha Samarawickrama | c Tazmin Brits b Nadine de Klerk | 8 | 20 | 1 | 0 | 40.00 |
Chamari Athapaththu | c & b | 68 | 50 | 12 | 0 | 136.00 |
Vishmi Gunaratne | run out () | 35 | 34 | 4 | 0 | 102.94 |
Anushka Sanjeewani | not out | 5 | 6 | 0 | 0 | 83.33 |
Nilakshika Silva | b | 4 | 5 | 0 | 0 | 80.00 |
Ama Kanchana | not out | 4 | 5 | 0 | 0 | 80.00 |
Extras | 5 (b 2 , lb 0 , nb 0, w 3, pen 0) |
Total | 129/4 (20 Overs, RR: 6.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Shabnim Ismail | 4 | 1 | 22 | 1 | 5.50 | |
Marizanne Kapp | 4 | 0 | 15 | 1 | 3.75 | |
Ayabonga Khaka | 4 | 0 | 21 | 0 | 5.25 | |
Nonkululeko Mlaba | 4 | 0 | 31 | 0 | 7.75 | |
Nadine de Klerk | 4 | 0 | 38 | 1 | 9.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Laura Wolvaardt | c Oshadi Ranasinghe b Inoka Ranaweera | 18 | 23 | 1 | 0 | 78.26 |
Tazmin Brits | c Ama Kanchana b Oshadi Ranasinghe | 12 | 18 | 2 | 0 | 66.67 |
Marizanne Kapp | c Nilakshika Silva b Inoka Ranaweera | 11 | 12 | 1 | 0 | 91.67 |
Sune Luus | st Anushka Sanjeewani b Inoka Ranaweera | 28 | 27 | 0 | 1 | 103.70 |
Chloe Tryon | c Nilakshika Silva b Sugandika Kumari | 10 | 10 | 2 | 0 | 100.00 |
Anneke Bosch | b Sugandika Kumari | 0 | 2 | 0 | 0 | 0.00 |
Nadine de Klerk | c Nilakshika Silva b Oshadi Ranasinghe | 7 | 11 | 0 | 0 | 63.64 |
Sinalo Jafta | run out (Oshadi Ranasinghe) | 15 | 9 | 2 | 0 | 166.67 |
Shabnim Ismail | run out (Achini Kulasuriya) | 7 | 4 | 1 | 0 | 175.00 |
Ayabonga Khaka | not out | 1 | 2 | 1 | 0 | 50.00 |
Nonkululeko Mlaba | not out | 5 | 3 | 0 | 0 | 166.67 |
Extras | 12 (b 0 , lb 1 , nb 1, w 10, pen 0) |
Total | 126/9 (20 Overs, RR: 6.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Achini Kulasuriya | 3 | 0 | 17 | 0 | 5.67 | |
Ama Kanchana | 2 | 0 | 16 | 0 | 8.00 | |
Sugandika Kumari | 4 | 0 | 28 | 2 | 7.00 | |
Oshadi Ranasinghe | 4 | 0 | 20 | 2 | 5.00 | |
Inoka Ranaweera | 4 | 0 | 18 | 3 | 4.50 | |
Kavisha Dilhari | 3 | 0 | 26 | 0 | 8.67 |
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට සවස 6.30ට එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයත්, රාත්‍රී 10.30ට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගයත් පැවැත්වීමට නියමිතයි.
මේ වන විට ශ්‍රී ලංකාව +0.15ක දල ලකුණු වේගයක් සහිතව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටිය ද, ඔවුන් සමඟ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන ප්‍රබල කණ්ඩායම් 2 එකම කාණ්ඩයේ තරග කරන නිසා ඉදිරි තරගවල දී දක්ෂතා දැක්වීම අවසන් පූර්ව වටයට පිවිසීමට අතිශයින්ම වැදගත් වනවා.
ශ්‍රී ලංකාව මුහුණ දෙන මීලඟ තරගය ලබන ඉරිදා (12) බංග්ලාදේශයට එරෙහිව මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එම සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<