2023 වාඩුව ගත් දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට

78
ICC Women's T20 World Cup - 1st Semi Final

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම ලෙසත් මෙන් ම, අඛණ්ඩව ලෝක කුසලාන තරගමාලා 7ක දී අවසන් මහා තරග නියෝජනය කළ කණ්ඩායම ලෙසත් සහ අවසන් අවස්ථා ත්‍රිත්වයත් සමඟින් අවස්ථා 6ක දී ලෝක ශූරියන් වී සිටි කණ්ඩායමත් ලෙසින් ඉතිහාසයට එක් ව සිටි ඔස්ට්‍රේලියානුවෝ පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඊයේ (17) සමත් වුනා. 

Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහි ව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ 2 වැනි අවස්ථාව මෙයයි. ඊට පෙර 2023 වසරේ දී ද ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර එහි දී ඔස්ට්‍රේලියානුවන් වෙතින් පරාජය වෙමින් අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු වෙනවා.

ඊයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 134ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් දැවී තවත් පන්දු 16ක් ඉතිරිව තිබිය දී ලකුණු 135ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 18ක් වෙද්දී දවා ගනිමින් තරගයට කදිම ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

නමුත් එතැන් සිට 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට Beth Mooney සහ Tahlia McGrath සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් අද තරගයේ නායිකාව වූ Tahlia McGrath ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඒ වෙද්දී ඇය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

අනතුරු ව Beth Mooney සහ Ellyse Perry එක් ව සිව් වැනි කඩුල්ලට ද ලකුණු 31ක සබඳතාවක් එක් කරනවා. ඔස්ට්‍රේලියා ලකුණු පුවරුවට ලකුණු 99 පැමිණෙද්දී පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටි Beth Mooney දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටුනා.

එතැන් සිට ලකුණු යශ්ටිය අතට ගත් Ellyse Perry, Phoebe Litchfield එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 35ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් Phoebe Litchfield ද ඇයට අනගි සහයෝගයක් ලබා දෙමින් පන්දු 9ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Ayabonga Khaka ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Marizanne Kapp සහ Nonkululeko Mlaba කඩුල්ල බැගින් බිඳ දැමුවා.

පිළිතුරු හඹා යන ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගේ ආරම්භය ද එතරම් ම සාර්ථක වූයේ නැහැ. නායක Laura Wolvaardt සහ Tazmin Brits (15) එක් ව ආරම්භ කළ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 25ක් වෙද්දී බිඳ වැටුනා. ඒ වෙද්දී ඔවුන් ගෙවා දමමින් සිටියේ 5 වැනි පන්දු වාරයයි.

කෙසේ වෙතත් 2 වැනි කඩුල්ලේ දී පන්දු 65ක දී ලකුණු 96ක සබඳතාවක් එක් කිරීමට Laura Wolvaardt සහ Anneke Bosch සමත් වුනා. තරගයේ ජයග්‍රහණයට තවත් ලකුණු 14ක් මෙපිටින් සිටිය දී Laura Wolvaardt ගේ ඉනිම අවසන් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් ද සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දි Anneke Bosch පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබා සිටියා. එම ඉනිම ඇයගේ තරග 46ක් වන විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූ අතර තරගයේ වීරයා ලෙසින් ද ඇය නම් කෙරුණා.

කඩුලු දවා ගැනීමේ දී Annabel Sutherland විසින් ප්‍රතිවාදී කඩුලු ද්විත්වය ම හිමි කර ගැනීමට සමත් වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 134 (20.0) Beth Mooney 44, Tahlia McGrath 27, Ellyse Perry 31, Phoebe Litchfield නොදැවී 16, Ayabonga Khaka 2/24

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 135 (17.2) Laura Wolvaardt 42, Anneke Bosch නොදැවී 74, Annabel Sutherland 2/26

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තරගාවලියේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන 2 වැනි අවසන් පූර්ව තරගය අද (18)  Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<