ඔක්තෝබර් 11 වැනිදා

ICC Women's T20 World Cup

76

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 9 වැනි දිනය වූ ඔක්තෝබර් 11 වැනිදා නිමා වෙන්නේ මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද අඩු ම ලකුණු ප්‍රමාණය ලකුණු පුවරුවට පිවිසෙමින්. 

A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැති තරගයේ දී පාකිස්තානය ලකුණු 82කට සියලුම දෙනා දැවී යන අතර එම ලකුණු ප්‍රමාණය මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලබා ගන්නා ලද අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා. මීට පෙර අඩු ම ලකුණු ප්‍රමාණයකට සියලුම දෙනා දැවී ගිය කණ්ඩායම බවට පත් ව සිටියේ ස්කොට්ලන්ත කණ්ඩායමයි. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 86කට දැවී යමින්.   

පෙර දිනයේ පැවැති එම තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ වන විටත් එම කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ඔස්ට්‍රේලියාව හිමිකර ගෙන සිටි අතර ලැබූ ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තව දුරටත් එම ස්ථානය ම තහවුරු කර ගත්තා. ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් (දළ ලකුණු 2.786) පළමු ස්ථානයේ රැඳී සිටිනවා.  

ඔවුන් වෙතින් පරාජයට පත් පාකිස්තානය (-0.488) තෙවැනි ස්ථානයේ සිට සිව් වැනි ස්ථානය දක්වා පහත වැටුණ අතර එතෙක් සිව් වැනි ස්ථානයේ රැඳී සිටි නවසීලන්තය (-0.050) තෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉහළට පැමිණියා.  

සුපුරුදු ලෙසින් ම ඉන්දියාව ප්‍රසාද ලකුණු 4ක් සමඟින් (0.576) දෙවැනි ස්ථානයට ද සහ ශ්‍රී ලංකාව (-2.564) අවසන් ස්ථානයට ද ප්‍රසාද ලකුණු පුවරුවට එක් ව සිටිනවා.   

පෙර දිනයේ B කාණ්ඩයේ තරග නොපැවැත් වුණ අතර ඒ අනුව එම කාණ්ඩය බටහිර ඉන්දීය කොදෙව් (1.708), දකුණු අප්‍රිකාව (1.527), එංගලන්තය (0.653), බංග්ලාදේශය (-0.835) සහ ස්කොට්ලන්තය (-2.671) ලෙසින් ප්‍රසාද ලකුණු පුවරුවේ පිළිවෙලින් අසුන් ගෙන සිටිනවා.  

14 වැනි තරගය 

පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව 
  • තරගයේ වීරයා – Ashleigh Gardner (ඔස්ට්‍රේලියාව) 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

පාකිස්තානය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 82 (19.5) Aliya Riaz 26, Ashleigh Gardner 4/21, Annabel Sutherland 2/15, Georgia Wareham 2/16 

ඔස්ට්‍රේලියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 83 (11.0) Alyssa Healy 37, Ellyse Perry නොදැවී 22 

 

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්. 

මේ අතර අද (ඔක්තෝබර් 12 වැනිදා) දහවලේ දී A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන  නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගය  Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි.  

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<