ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවැනි පුහුණු තරගය Guyana හි Providence ක්‍රීඩාංගණයේ දී අද (13) අලුයම නිමා වුනා.
උගන්ඩා 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයෙන් ද ලකුණු 231ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීම සඳහා අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබඳතාවය පළමු පන්දුවාරය තුලම බිඳ දැමීමට දකුණතින් මද වේගපන්දු යවන Pascal Murungi සමත් වුනේ චමිඳු වික්‍රමසිංහගේ කඩුල්ල ලකුණු 0කට දවාගෙනයි.
ඉන්පසුව, පළමු පුහුණු තරගයේ දී අර්ධ ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ශෙවෝන් ඩැනියල් සමඟ පිටියේ එක් වූ සදීෂ රාජපක්ෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සබඳතාවයක් ගොඩනැංවූවා.
සදීෂ පන්දු 90ක් සඳහා මුහුණ දෙමින් ලකුණු 75*ක් ලබා ගත්තේ 4 පහර 9ක් සිය ඉනිම සඳහා ඇතුලත් කරගෙනයි. සදීෂට අනගි සහයක් ලබා දුන් ශෙවෝන් 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 46ක දී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.
පළමු කඩුල්ලේ සබඳතාවය හැරෙන්නට අනෙක් සියලුම කඩුලු අතර සබඳතාවයන් යම් මට්ටමකට හොඳින් ගොඩනංවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනා.
වෙනදාට වඩා පිතිකරණ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ ක්‍රීඩා කළ නායක දුනිත් ලකුණු 16ක් ලබා ගන්නා විට, පවන් පතිරාජ සහ රනුද සෝමරත්න පිළිවෙළින් ලකුණු 21ක් සහ ලකුණු 14ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කළා.
වේගවත් පිතිකරණය නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු සටහන තවදුරටත් ඔසවා තැබීම සඳහා සවියක් වුනු සකුණ ලියනගේ පන්දු 16ක දී ලකුණු 23ක් ලබා ගත්තේ 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින්.
ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කළ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 32*ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී උගන්ඩාව වෙනුවෙන් කඩුලු දෙක බැගින් දවා ගැනීමට Joseph Baguma සහ Pascal Murungi සමත් වුනා.
- ප්‍රවීණයින්ගේ ක්‍රිකට් ලීගයට ශ්‍රී ලංකාවෙන් 7ක්
- සාන්ත සෙබස්තියන් – වේල්ස් කුමර සංග්‍රාමයට සියල්ල සූදානම්
- සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරගාවලියට ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි
- Vivo හැලෙයි; TATA එයි
- IPL නව කණ්ඩායම් දෙක තීන්දුයි
ලකුණු 278ක දැවැන්ත ලකුණක් හඹා යාම වෙනුවෙන් දැඩි පීඩනයක් සහිතව පිටියට පිවිසි උගන්ඩා කණ්ඩායමට තරගයේ මුල සිටම ප්‍රබල අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා. Brian Asaba ලබාගත් ලකුණු 13 හැරෙන්නට ඔවුන්ගේ එකඳු පිතිකරුවෙක් හට හෝ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර අවසානයේ දී උගන්ඩා ඉනිම ලකුණු 46කට සීමා වුනා.
පන්දු යැවීමේ දී නායක දුනිත්, ලකුණු කිසිවක් ලබා නොදෙමින් පන්දුවාර 3ක් තුල කඩුලු 4ක් දවාගෙන සුපිරි පන්දු යැවීමක නිරත වුනා. ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයින් වන යසිරු සහ චමිඳු කඩුලු දෙක බැගින් දවාගෙන උගන්ඩා පිතිකරුවන් පාලනය කිරීම සඳහා සිය සහය ලබා දුන්නා.
ලකුණු සාරාංශය,
ශ්‍රී ලංකාව – 277/8 (50): සදීෂ රාජපක්ෂ 75*, ශෙවෝන් ඩැනියල් 46, යසිරු රොද්‍රිගෝ 32*, සකුණ ලියනගේ 23, Joseph Baguma 2/25, Pascal Murungi 2/63.
උගන්ඩාව – 46 (21.2): Brian Asaba 13, දුනිත් වෙල්ලාලගේ 4/00, චමිඳු වික්‍රමසිංහ 2/05, යසිරු රොද්‍රිගෝ 2/06.
තරගය අවසන් වීමෙන් පසුව කණ්ඩායම් දෙකම සුහද ලෙස කාලය ගත කරමින් එක් සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටිමින් ක්‍රීඩාවේ නියම අරුථ ලොවට පෙන්වීම කැපී පෙනෙන සිදුවීමක් වුනා.
Thank you @OfficialSLC for the kind gesture of giving us some batting practice after the main game.
A 🕯️ loses nothing when it lights another. #Cheer4BabyCricketCranes pic.twitter.com/W8UQp2Nwj9
— Uganda Cricket Association (@CricketUganda) January 12, 2022
මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ,
A – බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය
B – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව
C – ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියා, සිම්බාබ්වේ
D – ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,
ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<