යොවුන් ලෝක කුසලානයේ සිංහ සහභාගීත්වය

ICC U 19 Cricket World Cup 2024

228
ICC U 19 Cricket World Cup 2024

15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත් වූවා.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සතු වෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා C කාණ්ඩයෙන් තරග පිටියට පිවිසෙන අතර එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, නැමීබියාව සහ සිම්බාබ්වේ ද ඇතුලත්. තරගාවලිය ජනවාරි මස 19 වැනිදා සිට පෙබරවාරි මස 11 වැනිදා දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් පැවැත්වේ.

සිනෙත් ජයවර්ධන (නායක)

o රාජකීය විද්‍යාලය, කොළඹ.

o වමත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සිනෙත් ජයවර්ධන ආසන්න වශයෙන් නිමා වූ පාකිස්තාන සංචාරයේ දී මෙන් ම වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ද දක්ෂතා දැක්වීමට සමත් වූවා.

පාකිස්තාන සංචාරයේ දී අර්ධ ශතකයක් සමඟින් ඉනිම් 5ක දී ලකුණු 151ක් ලබා ගන්නා ලද අතර පැවැති යොවුන් නිල නොලත් ටෙස්ට් තරගාවලියේ දී ඉනිම 4ක දී ලකුණු 120ක් ලබා ගන්නවා.

ආසියානු කුසලාන තරගාවලියේ දී ඉනිම 3ක දී ලකුණු 100ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 50.0ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වූවා. පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙරට පළමු පෙළ තරගාවලිය ද නියෝජනය කරන ඔහු 2022 යොවුන් ලෝක කුසලාන තරගාවලියට ද එක් වූවා.

මල්ෂ තරුපති (උප නායක)

o රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල

o දකුණත් පිතිකරු | වමතින් පා දඟ පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන මල්ෂ තරුපති 2022 ලෝක කුසලාන තරගාවලියේ සිට ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයෙක්. මල්ෂ අවසන් වරට සහභාගී වූ ආසියානු කුසලාන තරගාවලියේ තරග 3ක දී කඩුලු 5ක් දවා ගන්නා ලද අතර පිතිකරුවෙක් ලෙසින් ඔහුට එතරම් ම දක්ෂතා දැක් වීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් ඊට පෙර නිමා වූ පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්වල දී දක්ෂතා දැක් වූ මල්ෂ පසුගිය කාලයේ මූවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් List A කාණ්ඩයේ තරගවලට සහභාගී වූවා. මල්ෂ තමන් ක්‍රීඩා කරන ලද අවසන් තරග ඉනිම් 10 දී කඩුලු 20ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට ද සමත් වූවා.

පුලිඳු පෙරේරා

o ධර්මරාජ විද්‍යාලය, මහනුවර

o වමත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වූ ආසන්නත ම තරගාවලිය වන ආසියානු කුසලානයේ දී එතරම් ම දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූවත් ඊට පෙර පැවැති පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්වල දී සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්. පසුගිය කාලයේ කොළඹ BRC කණ්ඩායම නියෝජනය කරමින් List A තරගවලට ද සහභාගී වූවා. ‍ෙ

රූසඳ ගමගේ

o සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය

o වමත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයට ලත්, ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන රූසඳට ද පසුගිය ආසියානු කුසලානය එතරම් ම හිතකර වූයේ නැහැ. ඔහු ඉනිම 3ක දී ලබා ගත්තේ ලකුණු 68ක් පමණයි.

කෙසේ වෙතත් ඊට පෙර නිමා වූ පාකිස්තාන යොවුන් එක්දින තරගාවලියේ දී මෙන් ම බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ද දක්ෂතා දැක්විමට රූසඳ සමත් වූවා.

රවිශාන් ද සිල්වා

o පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ

o වමත් පිතිකරු | වමතින් මඳ වේග පන්දු යවයි.

රවිශාන් ද සිල්වා කණ්ඩායම හා එක් වෙන්නේ ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසයි. කෙසේ වෙතත් ඔහු තමන් සහභාගී වූ අවසන් තරග 10 අවසන් කරන්නේ ලකුණු 309ක් ලබා ගනිමින්. එහි සාමාන්‍ය දැක් වෙන්නේ 28.09ක් ලෙසයි.

රවිශාන්, පසුගිය කාලයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහභාගී වූ ආසියානු කුසලානය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්වලට ද එක් වූ ක්‍රීඩකයෙක්.

පාසල් ක්‍රිකට් පිටියේ දෙවැනි පෙළ තරගාවලිය නියෝජනය කරන රවිශාන්, නිමා වූ පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී එම කාණ්ඩයේ Tier B කොටසේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගැනීමට ද සමත් වෙනවා.

ශාරුජන් ශන්මුගනාදන්

o සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොටහේන

o වමත් පිතිකරු | කඩුලු රකින්නා.

කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන් ම මැද පෙළ පිතිකරුවෙක් ද ලෙසින් ශාරුජන් ශන්මුගනාදන් නම් කර තිබෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සංචාරයන්වල දී ස්ථාවර ස්ථානයක් හිමි වූ ක්‍රීඩකයෙක් වූව ඔහු List A කාණ්ඩ තරගවල දී Nugegoda කණ්ඩායම හා එක් ව දක්ෂතා දැක් වූවා.

දිනුර කළුපහන

o මහින්ද විද්‍යාලය, ගාල්ල

o දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දිනුර කළුපහන නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී බොහෝ ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී, අර්ධ ශතකයක් සමඟින් ලකුණු 82ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා.

ඊට පෙර නිමා වූ පාකිස්තාන යොවුන් එක්දින තරගාවලියේ තරග 5ක දී ලකුණු 135ක් සහ කඩුලු 7ක් ලබා ගන්නා දිනුර බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව මෙරට පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 150ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

දිනුර, නිමා වූ පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී දක්ෂතම පන්දු යවන්නා සේ ම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පත් වූ අතර මේ වෙද්දී SSC කණ්ඩායම හා සමඟ ද තම දක්ෂතා දක්වමින් සිටිනවා.

විශ්ව ලහිරු

o ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර

o දකුණත් පිතිකරු | වමතින් දඟ පන්දු යවයි.

මීට පෙර පැවැති තරග සංචාරයන් කිහිපයක දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් ව ඇති විහස් වඩාත් දක්ෂතා ඇත්තේ එක්දින තරගවලදීයි.

විශ්ව, නිමා වූ පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සම්මානයට පත් වූ ක්‍රීඩකයායි.

ගරුක සංකෙත්

o ලයිසියම් ජාත්‍යන්තර පාසල, පානදුර

o වමත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් නම් කෙරුණ ගරුක සංකෙත් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා.

එමෙන් ම ඔහු මේ දක්වා සහභාගී වූ ඔහුගේ අවසන් ඉනිම් 10 දී කඩුලු 17ක් දවා ගැනීමට සමත් ව සිටින අතර ඒ අතර ආසියානු කුසලානය, පාකිස්තාන සහ බටහිර ඉන්දීය කෙදෙව් සංචාර ඇතුලත්.

විශේන් හැළඹගේ

o සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය

o දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

විශේන් හැළඹගේ ද කාලයක් තිස්සේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ අනුව ඔහු නිමා වූ ආසියානු කුසලානය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය තරග සංචාරයන්වලට ද සහභාගී වූ අතර List A තරගවල දී Panadura කණ්ඩායම නියෝජනය කරනවා.

රුවිශාන් පෙරේරා

o ආනන්ද විද්‍යාලය, කොළඹ

o දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

රුවිශාන් පෙරේරා මීට පෙර පැවැති ආසියානු කුසලානය, පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරවල දී ද ශ්‍රී ලංකා යොවුන් කණඩායම නියෝජනය කළ අතර කණ්ඩායම හා එක් වෙන්නේ පන්දු යවන්නෙක් ලෙසයි.

විහස් තෙව්මික

o තර්ස්ටන් විද්‍යාලය, කොළඹ

o දකුණත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

විහස් තෙව්මික ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසිනුයි. නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙන ඔහුට පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක් විමට හැකි වෙන්නේ නැහැ.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සහභාගී වූ පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්වලට ද එක් වූවා.

විහස්, පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී පළමු කාණ්ඩයේ Tier B කොටසේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ද සමත් වෙනවා.

දුවිඳු රණතුංග

o මහානාම විද්‍යාලය, කොළඹ

o දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙන් ලෙසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් ව සිටින දුවිඳු රණතුංග මේ දක්වා සහභාගී වූ අවසන් තරග 10 දී කඩුලු 11ක් ලබා සිටිනවා.

CCC කණ්ඩායම ද නියෝජනය කරන දුවිඳු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟින් ආසියානු කුසලානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ එංගලන්තය සමඟ පැවැති තරගාවලියන්වලට ද සහභාගී වූවා.

හිරුන් කපුරුබණ්ඩාර

o සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ

o දකුණත් පිතිකරු | කඩුලු රකින්නා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලත් හිරුන් ද නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී අසාර්ථක වූ ක්‍රීඩකයන් අතර කෙනෙක්.

කෙසේ වෙතත් ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති ඇෆ්ගනිස්තාන, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තුන් කොන් තරගාවලියට සහභාගී වෙමින් දක්ෂතා දැක් වීමට සමත් වූවා.

සුපුන් වඩුගේ

o ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර

o වමත් පිතිකරු – දකුණතින් පිට දඟ පන්දු යවයි.

මීට පෙර මෙරට දී පැවැති බටහිර ඉන්දීය කොදෙව් යොවුන් එක්දින තරගාවලිය සඳහා එක් වූ සුපුන් වඩුගේ පසුගිය කාලයේ තම දක්ෂතා BRC කණ්ඩායම හා බෙදා ගත්තා.

අතිරේක ක්‍රීඩකයන්..,

මනුල කුලරත්න

o ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර

o දකුණත් පිතිකරු | වමතින් මඳ වේග පන්දු යවයි.

වේග පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන මනුල කුලරත්න මීට පෙර වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් ව පාකිස්තාන සංචාරයට එක් වූ ක්‍රීඩකයෙක්.

දිනුක තෙන්නකෝන්

o ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර

o දකුණත් පිතිකරු | වමතින් පා දඟ පන්දු යවයි.

2023 වසරේ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයා වූ දිනුක තෙන්නකෝන් මීට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් ව ආසියානු කුසලානයට ද සහභාගී වූවා.

හිරාන් ජයසුන්දර

o ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර

o වමත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

හිරාන් ජයසුන්දර මීට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග පිටියට පිවිස තිබෙන ක්‍රීඩකයෙක්.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට Thepapare.com හී උණුසුම් සුබ පැතුම්!

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<