කාසියේ වාසිය වසර 141ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු තරගයේ සිටම අප අත්දුටුවකි. ක්‍රිකට් සම්ප්‍රදායේ මූලික අංගයක් වන එය අපට නැවත දැකිය නොහැකි වේවිද?
ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් රටින් රටට සංචාරය කිරීමේ දී සත්කාරක රාජ්‍යයන් වල ක්‍රිකට් සංගම් සහ පාලක මණ්ඩල විසින් තරග ජයග්‍රහණය කිරීමට භාවිතා කරන එක් ක්‍රමයකි නිජබිමට වාසිදායක තණතිලි නිර්මාණය. එනිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සහ තරගකාරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව මතභේදයට තුඩු දුන් මාතෘකාවකි.
කෙසේ නමුත් ටෙස්ට් තරගයක ප්‍රථමයෙන් පන්දුවට පහරදීම හෝ පන්දු යැවීම තෝරාගැනීමට භාවිත වූ “කාසියේ වාසිය” ක්‍රිකට් වලින් ඉවත් කොට, සංචාරක කණ්ඩායමට එය තෝරාගැනීමට අවස්ථාව සැලසීම ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව මේ වන විටත් සාකච්ඡාවට ලක් කරමින් සිටියි. ඔවුන්ගේ මීළඟ සැසිවාරය මැයි 28/29 දිනවල දී මුම්බායි නගරයේ දී පැවැත්වීමට නියමිතයි.
අපට පුරුදු පරිදි ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත සංචාරයන් වලට සහභාගී වන ආසියානු කණ්ඩායම් වලට බොහෝ විට අවාසිදායක තණතිලි ලැබීම නිසා අපහසුතාවයට පත්වීමට සිදු විය. ආසියානුවන් ඊට ප්‍රතිචාර දැක්වූයේ දඟපන්දු යැවීම සඳහා උචිත තණතිලි නිර්මාණය කරමිනි. 2016 ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන සිහිකරමු. එහි දී ඕස්ට්‍රේලියාව තරග 3-0ක් ලෙස අන්ත පරාජයකට ලක්විය. එහි දී වැඩිම කඩුලු ලබාගත්තේ ශ්‍රී ලංකාවේ රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා යි.
එමෙන්ම මෑතක දී අවසන් වූ ඕස්ට්‍රේලියානුවන්ගේ දකුණු අප්‍රිකානු සංචාරය ද ඔවුනට අවාසිදායක ලෙස අවසන් වූයේ තණතිලි ගැන කෙසේ වෙතත් වෙනත් මතභේදාත්මක කරුණු රැසක් ද මධ්‍යයේ දීයි. මතභේදයන් පසෙක තැබුවහොත්, දකුණු අප්‍රිකානු තණතිලි වල කොළ පැහැති ස්වභාවය අපට හොඳින් සිහිකරගත හැකිය. දකුණු අප්‍රිකානුවන්ගේ වේගපන්දු බල ඇණියේ ශක්තිමත්භාවය නිසා ඔවුන් දිගින් දිගටම කොළ පැහැති තණතිලි නිර්මාණය කරමින් සිටියි. ඉන් පෙර එහි සංචාරය කළ ඉන්දියානු කණ්ඩායම ද ටෙස්ට් තරග 4න් 3ක් පරාජය විය. එහෙත් ඒ සියල්ල සිදු වූයේ කාසියේ වාසිය නිසා ද යන්න පැනයකි.
“අපි අන්තිම පාර මෙහෙ ආපු වෙලේ කාසියේ වාසිය 4 වතාවක් දින්නා. ඒත් ඒ තරග 4ම පැරදුණා.” හිටපු ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඩැරන් ලීමන් එසේ පැවසුවේ 2017 ඉන්දියානු සංචාරය සිහිකරමිනි.
කාසියේ වාසිය ඉවත් කිරීම ගැන කතාබහක් නිර්මාණය වෙද්දී ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ක්‍රීඩකයන් ඒ ගැන සිය අදහස් පලකිරීමට පටන්ගෙන තිබේ.
“මම නම් හිතන්නේ නෑ ICC එකේ නව ක්‍රමයෙන් කිසි නරකක් සිද්ධ වෙයි කියලා. මේ නිසා සත්කාරක කණ්ඩායම් වලට බලපෑමක් එල්ල වෙනවා ඔවුන්ටම උචිත තණතිලි නිර්මාණය නොකර, සම තණතිලි නිර්මාණය කිරීමට.” ප්‍රවීණ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ජාවිඩ් මියන්ඩාඩ් Dawn වෙබ් අඩවියට එසේ කීවේය.
“අසාධාරණ ලෙස සත්කාරක කණ්ඩායම් වලට තණතිලි උදව් වෙන එක සංචාරක කණ්ඩායම් වලට ලොකු බාධකයක් වෙලා තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එය නැවැත්වීමට යම් ක්‍රමයක් අත්හදා බැලීම සුභදායී එකක් බවයි.
එහෙත් ඔහුගේම සගයෙකු වූ සලීම් අල්තාෆ් පවසන්නේ ඊට පරස්පර අදහසකි.
“ඒක (කාසියේ වාසිය) ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායික කොටසක්. ඒක නවතා දැමීමේ තේරුමක් නෑ. තවත් පැත්තකින්, කාසියේ වාසිය කියන්නේ නායකයෙකුගේ නුවණ පරික්ෂා කරන ක්‍රමයක්.” අල්තාෆ් කීවේය.
ප්‍රබල ඉන්දියානු ක්‍රිකට් නායකයෙකු වූ සව්රව් ගංගුලි ද ICCයේ නව සැලසුම ගැන සිය නොකැමැත්ත පලකළේය. ඒ ඉන්දියානු මාධ්‍ය ඉදිරියේයි.
“අලුත් ක්‍රමය ක්‍රියාත්මක වුනත් නැතත් එය (කාසියේ වාසිය) දකින්නට තිබිය යුතුයි. පෞද්ගලිකව මම නම් එකඟ නැහැ කාසියේ වාසිය ඉවත් කිරීමට. සත්කාරක නායකයා කාසියේ වාසිය පැරදුණු විටෙක දී ඔය කියන වාසිය ඔහුට ලැබෙන්නේ නෑ.”
කෙසේ වෙතත් ICCයේ ක්‍රිකට් කමිටුවේ මතය නම් කාසියේ වාසිය සත්කාරක කණ්ඩායමට වැඩි වාසි ගෙන එන බවයි. කලින් කලට වෙනස් වන ක්‍රිකට් සම්ප්‍රදායන් සහ නීති ගැන සුපරික්ෂාවෙන් බැලීමේ දී පෙනී යන්නේ බටහිර සහ ආසියානු ක්‍රිකට් බලවතුන් අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ අසරණ වන සෑමවිටකම ඔවුන් නීති සහ රෙගුලාසි මඟින් ක්‍රීඩාව පාලනය කරන්නට පෙළඹෙන බවයි.
උදාහරණයක් වශයෙන් පවර් ප්ලේ (Power play) කිහිපයක් යොදාගැනීම ඇරඹුණේ ද එංගලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ ශක්තිමත් උරහිස් සහ බාහු වෙනුවෙනි. එහෙත් ආසියානුවන් ඔවුන්ගේ සුරුවම් මැණික් කටුවලින් හරඹ පාන්නට ගත් කල එය ආසියානුකරණය විය. වේගපන්දු යවන්නන්ට පහසු වන සේ නව පන්දු දෙකකින් පන්දු යැවීම සිදුකරන විට ආසියානුවන් එය ආසියානුකරණය කරගත්තේ අති සාර්ථක “දඟ නව-පන්දුකරණයක්” ප්‍රදර්ශනය කරමිනි. මේ දෙකක් පමණි. ආසියානුකරණය වූ නව නීති ගණන මෙපමණක් නොවේ.
එහෙත් වත්මන් ලෝක ක්‍රිකට් බලවතා ඉන්දියාව වන නිසා මේ ගැන තර්ක විතර්ක ද කළ හැකිය. අවසන් තීරණය තහවුරු වන තෙක් කිසිවක් කිවනොහැක.
කෙසේ වෙතත් කාසියේ වාසිය ඉවත් කිරීම ද එවන් උගුලක් විය හැකි නමුත් එය ද ආසියානුකරණය කර ගත හැකි ක්‍රමය ආසියානුවන් විසින් සොයා ගනු ඇත. ඒ පෞරාණික තාක්ෂණය ද ලොවට හඳුන්වා දුන් අභිමානවත් ආසියානුවන් ලෙසයි. අන් තාක්ෂණය සොරා ගත් බටහිර ජාතීන් මෙන් නොවේ.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<