මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට

ICC T20 Women World Cup 2024

163
ICC T20 Women World Cup 2024

ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නිලධාරීන් ලෙසින් ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද 13 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් මිචෙල් පෙරේරා සහ නිමාලි පෙරේරා ගේ නම් ඇතුලත් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් විනිසුරුවරියන් 10 දෙනෙක් සහ තරග තීරකවරියන් තිදෙනෙක් ඇතුලත්. මිචෙල් පෙරේරා සේ ම නිමාලි පෙරේරා ද නිමා වූ ආසන්නත ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ද තරග නිලධාරී මඩුල්ල නියෝජනය කළා.

එහි දී නිමාලි පෙරේරා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් පූර්ව තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙසින් කටයුතු කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති 33 හැවිරිදි වියේ පසුවෙන නිමාලි පෙරේරා 2022 වසරේ දී නැගී එන ක්‍රිකට් විනිසුරුවරියක් ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇගයීමට ලක් වෙනවා. අනතුරු ව ඇය 2023 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල තරග විනිසුරු මණ්ඩලය හා එක් වෙනවා.

එතැන් සිට ඇය මේ දක්වා කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 5ක දී ද සහ කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 37ක දී ද විනිසුරුවරියක් ලෙසින් අත්දැකීම් ලබා තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති 42 හැවිරිදි වියේ පසුවෙන මිචෙල් පෙරේරා මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 10ක දී, කාන්තා එක්දින තරග 2ක දී සහ කාන්තා විස්සයි විස්ස 20ක දී තම දායකත්වය දක්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද විනිසුරුවරියන්:

Lauren Agenbag (දකුණු අප්‍රිකාව), Kim Cotton (නවසීලන්තය), Sarah Dambanevana (සිම්බාබ්වේ), Anna Harris (එංගලන්තය), Claire Polosak (ඔස්ට්‍රේලියාව), Vrinda Rathi (ඉන්දියාව), Sue Redfern (එංගලන්තය), Eloise Sheridan (ඔස්ට්‍රේලියාව), Jacquiline Williams (බටහිර ඉන්දීය කොදෙව්) සහ නිමාලි පෙරේරා (ශ්‍රී ලංකාව).

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද තරග තීරකවරියන්:

Shandré Fritz (දකුණු අප්‍රිකාව), GS Lakshmi (ඉන්දියාව) සහ මිචෙල් පෙරේරා (ශ්‍රී ලංකාව.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<