ශ්‍රී ලංකා යෞවනයින් ජයග්‍රහණයකින් වැඩ අරඹයි

ICC Men's U19 Cricket World Cup 2024

353
Icc men's u19 cricket world cup 2024

වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සිය පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 112ක දැවැන්ත ජයක් ලබා ගැනීම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් විසින් අද (15) සමත් වුනා. 

දකුණු අප්‍රිකාවේ Pretoria හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 49 තුළ ලකුණු 238ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ඉතා හොඳ මට්ටමේ ආරම්භයක් ඉනිමට ලබා ගැනීමට සමත් වූ නමුත් ඔවුන්ගේ මැද පෙළ පිතිකරුවන්ට බලාපොරොත්තු වූ තරම් ප්‍රබල ඉනිම් දියත් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. 

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 49කට සීමා වූ අතර මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පුලිඳු පෙරේරා අර්ධ ශතකයකින් දායක වුනා. ඊට අමතරව දිනුර කළුපහනගේ පිත්තෙන් ලකුණු 34ක් ඉනිමට එක් වුනා. 

බංග්ලාදේශය වෙනුවෙන් Wasi Siddiquee විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 238ට පිළිතුරු සැපයීම සඳහා බංග්ලාදේශය පිටියට පිවිසුණු නමුත් නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඔවුන්ට පන්දුවාර 36 පන්දු 2ක් තුළ ලකුණු 232ක ඉලක්කයකුයි හිමි වුනේ. 

නමුත් ඔවුන්ට ඒ සඳහා සාර්ථක ආරම්භයක් හෝ ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.  

බංග්ලාදේශ ඉනිම ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර මේ හේතුවෙන් නියමිත පන්දුවාර ප්‍රමාණය තුළ කඩුලු 9ක් දැවී ගිය බංග්ලාදේශය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 119ක් පමණයි. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ විශේන් හැළඹගේ කඩුලු 3ක් බිඳ හෙළද්දී, පුලිඳු පෙරේරා කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම විසින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව Duckworth-Lewis න්‍යාය අනුව ලකුණු 112ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් යොවුන් ලෝක කුසලානයට විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තා. 

  • ශ්‍රී ලංකාව – 238/9 (49) පුලිඳු පෙරේරා 50, දිනුර කළුපහන 34 විශේන් හැළඹගේ 30, Wasi Siddiquee 2/26  
  • බංග්ලාදේශය – 119/9 (36.2) Jishan Alam 26, Adil Bin Siddik 15, විශේන් හැළඹගේ 3/28, පුලිඳු පෙරේරා 2/5 

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිත මීළඟ පුහුණු තරගය එළඹෙන 17 වැනි දා ඉන්දියාව සමඟ පැවැත්වෙනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ සහභාගී වන නිල පළමු එක්දින තරගය එළඹෙන 21 වැනි දා සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිතයි. 

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<