T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජය නෙදර්ලන්තයට!

208

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (02) අවසන් වූයේ නෙදර්ලන්ත කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමිකර දෙමිනි. 

ඒ අනුව තරග 51ක් අවසානයේ ශූරතාවය දිනූ නෙදර්ලන්තය සමඟ පැපුවා නිව් ගිනියාව, අයර්ලන්තය, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය මෙවර ලෝක කුසලානය සඳහා වරම් ලබාගෙන ඇත. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව තරග තරග ද්විත්වය, තෙවැනි ස්ථානය වෙනුවෙන් වූ තරගය සහ අවසන් මහා තරගය පිලිබඳ සංක්ෂිප්ත වාර්තාවක් මේ!

ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන්නෙකුත් T10 වලට

වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී….

අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරගය

පළමු අවසන් පූර්ව තරගය වූ මෙය ක්‍රියාත්මක වූයේ බොහෝමයක් විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා අනිවාර්යයෙන් ඉඩක් වෙන්කර ගන්නා කණ්ඩායම් දෙකක් අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්තය සමත් වූ අතර මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුහු ප්‍රතිවාදීන්ට ලබා දුන්හ.

ඒ අනුව සාර්ථක පිතිකරණයක යෙදුනු නෙදර්ලන්තය කඩුලු 4කට ලකුණු 158ක් රැස් කරගත් අතර කලක සිට දක්වන දක්ෂතා නිසා IPL වැනි ලීග් තරගාවලි සඳහා ද සහභාගි වූ රයන් ටෙන්ඩස්කාටේ ලකුණු 43ක් ද, බෙන් කූපර් ලකුණු 37ක් ද රැස් කරගත්හ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වැන් ඩර් මර්වි ලකුණු 45යි.

මෙම ඉනිම පසුපස හඹාගිය අයර්ලන්තය කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 137ක් පමණි. එහිදී ප්‍රවේගකාරී ඉනිම කිහිපයකට හිමිකම් කියන පෝල් ස්ටර්ලින් ලකුණු 29ක් ලබාගත් අතර තුන් ඉරියව් ක්‍රීඩක ජෝජ් ඩොක්රල් ලකුණු 25ක් තම නම ඉදිරියෙන් සටහන් කර ගත්තේය. සුපිරි පන්දු යැවීමක යෙදෙමින් අයර්ලන්ත ජය උදුරාගත් වමත් පිට දඟ පන්දු යවන පීටර් සීලර් කඩුලු 3ක් දවා ගත්තේය.

නෙදර්ලන්තය – කඩුලු 4ක් දැවී ලකුණු 158 (පන්දුවාර 20):රයන් ටෙන්ඩස්කාටේ 43, බෙන් කූපර් 37, වැන් ඩර් මර්වි 25*, ක්‍රේග් යං 2/39.

අයර්ලන්තය – කඩුලු 9ක් දැවී ලකුණු 137 (පන්දුවාර 20):පෝල් ස්ටර්ලින් 29, ජෝජ් ඩොක්රල් 25, කෙවින් ඕ’බ්‍රයන් 22, ගැරත් ඩෙලනි 20, පීටර් සීලර් 3/17, වැන් ඩර් මර්වි 2/19, ෆ්‍රෙඩ් ක්ලාසන් 2/32.

බංග්ලාදේශයට එරෙහිව චමිඳුගෙන් තුන් ඉරියව් දස්කම්

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම, බංග්ලාදේශ….


පැපුවා නිව් ගිනියාව සහ නැමීබියාව අතර තරගය 

දෙවැනි අවසන් පූර්ව තරගය ක්‍රියාත්මක වූයේ ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීමයි. එහිදී කාසියේ වාසිය දිනාගත් පැපුවා නිව් ගිනියාව මුලින් පන්දුවට පහර දෙමින් ලකුණු 130ක් ලබා ගැනීමට සමත් විය. ඒ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ මැදපෙළ පිතිකරු සෙසේ බොව් පන්දු 38කින් ලකුණු 40ක් ලබා ගනිද්දී චාල්ස් අමිනි ලකුණු 31ක් වාර්තා කළේය.

මෙම ඉලක්කය හඹා යාමට උත්සාහ කළ නැමීබියාවට ප්‍රවේගකාරී පහරවල් අතරට යාමට නොහැකි වූ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 112ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු ස්ටෙෆන් බාර්ඩ් ලකුණු 34ක් ද, ජේ.පී. කොට්සි ලකුණු 30ක් ද රැස්කළ නමුත් අනෙක් පිතිකරුවන් ඒ ආකාරයෙන් සාර්ථක වූයේ නැත. මේ නිසා නෙදර්ලන්තය සමඟ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට පැපුවා නිව් ගිනියාවට වරම් උදාවිය.

පැපුවා නිව් ගිනියා – කඩුලු 5ක් දැවී ලකුණු 130 (පන්දුවාර 20):සෙසේ බොව් 40, චාල්ස් අමිනි 31, නෝමන් වනුවා 20, ජේ.ජේ. ස්මිත් 2/29, බෙන් ශිකොන්ගො 1/11, ක්‍රිස්ටි විල්ජොයෙන් 1/21.

නැමීබියාව – කඩුලු 5ක් දැවී ලකුණු 112 (පන්දුවාර 20):ස්ටෙෆන් බාර්ඩ් 34, ජේ.පී. කොට්සි 30, ජේ.ජේ. ස්මිට් 16, ක්‍රේග් විලියම්ස් 14, නෝමන් වනුවා 2/16, ඩේමියන් රවු 1/11.

BRC පරාජය කළ නාවික හමුදාවට දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන Major Club….


අයර්ලන්තය සහ නැමීබියාව අතර තරගය 

අවසන් පූර්ව තරග ද්විත්වය පරාජය වූ කණ්ඩායම් දෙක අතුරින් තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම තීරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරගය ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීම ක්‍රියාත්මක විය. එහිදී කාසියේ වාසියට හිමිකම් කීමට අයර්ලන්ත පිළට හැකිවිය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන්ම තෝරා ගත්තේ පිතිකරණයයි.

එහිදී පසුගිය කාලයේ ලකුණු අතර සිටි ඇන්ඩි බැල්බර්නි පන්දු 35කදී ලකුණු 46ක් රැස් කරගත් අතර පෝල් ස්ටර්ලින් ලකුණු 25ක් ලබා ගත්තේය. මේ නිසා අයර්ලන්තය තම සියලු කඩුලු දැවී ඉනිම නිමා කළේ ලකුණු 135ක් ලබා ගනිමිනි. පන්දු යැවීමේ දී ක්‍රේග් විලියම්ස් කඩුලු 3ක් දවා ගත්තේය. මෙම ඉලක්කය පසුපස හඹාගිය නැමීබියාව ලකුණු 108කට සීමා වූ අතර නායක ගර්හාඩ් එරෙස්මස් පමණක් අර්ධ ශතකයක් වාර්තා කරමින් සාර්ථක විය.

අයර්ලන්තය – සියල්ලන්ම දැවී ලකුණු 135 (පන්දුවාර 19.1):ඇන්ඩි බැල්බර්නි 46, පෝල් ස්ටර්ලින් 25, මාර්ක් ඇඩයර් 17, කෙවින් ඕ’බ්‍රයන් 17, ජේ.ජේ. ස්මිට් 3/19, ක්‍රේග් විලියම්ස් 3/34, සිවාගෝ ග්‍රොඑන්වර්ල්ඩ් 2/20.::

නැමීබියාව – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 18.2):ගර්හාඩ් එරෙස්මස් 51, ස්ටෙෆන් බාර්ඩ් 17, ජේ.ජේ. ස්මිට් 10, සිමී සිං 3/25, මාර්ක් ඇඩෙයර් 2/9, බෝයික් රෑන්කින් 2/17.

ආනන්ද විද්‍යාලයට හා රිච්මන්ඩ් විද්‍යාලයට වැඩි වාසි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ….


නෙදර්ලන්තය සහ පැපුවා නිව් ගිනියාව අතර තරගය 

දීර්ඝ තරගාවලියක අවසානය සනිටුහන් කරමින් මෙම කණ්ඩායම් දෙක අවසන් මහා තරගය වෙනුවෙන් සටන් වැදුනේ ඩුබායි හිදීයි. එහිදී කාසියේ වාසියට හිමිකම් කියූ පැපුවා නිව් ගිනියා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තද ඔවුන්ගේ මුල් කඩුලු 3ක් ලකුණු 30කට බිඳ වැටුණි. කෙසේවෙතත් ලෙගා සියාකා රැස්කළ ලකුණු 39ත්, සෙසේ බොව් ලබාගත් ලකුණු 29ත් නිසා නැවතත් ස්ථාවරයකට පත් වන්නට ඔවුන්ට හැකිවිය.

නමුත් ඉනිම පිළිසකර කර ගැනීමට වැඩි පන්දු ප්‍රමාණයක් වැයවීම නිසා ඔවුන්ට ඉහළ ලකුණු පුවරුවක් ගොඩ නැගීමට නොහැකි වන බව පැහැදිලි විය. මේ මොහොතේ පිටියට පිවිසි ජේසන් කිලා ප්‍රහාරාත්මක පිතිකරණයක යෙදෙමින් පන්දු 11ක් තුල නොදැවී ලකුණු 27ක් ලබා ගැනීම නිසා ඉනිම අවසන් වනවිට පැපුවා නිව් ගිනියා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට හැකිවිය. බ්‍රැන්ඩන් ග්ලෝවර් කඩුලු 3යි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දක්වා ඇති පිතිකරුවන් රාශියක් සිටින නෙදර්ලන්තයට මෙම අභියෝගය ජය ගැනීම අපහසු නොවූ අතර තවත් එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදීම තරගය ජය ගැනීමට ඔවුන් සමත් විය. ඒ කඩුලු 3ක් පමණක් දැවී තිබියදීයි. සුපුරුදු ලෙස බෙන් කූපර් පන්දු 33කින් ලකුණු 41ක් ලබා ගනිද්දී, ටෙන්ඩස්කාටේ පන්දු 23කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 34ක් ලබාගෙන නෙදර්ලන්තය ජය කණුව කරා කැටුව ගියේය.

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවූයේ ප්‍රතිවාදී කඩුලු 3කට හිමිකම් කියූ බ්‍රෙන්ඩන් ග්ලෝවර්ටයි. තරගාවලියේ වීරයා ලෙස මුළු ලකුණු 268ක් රැස් කරමින් නැමීබියා කණ්ඩායමට විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා දීමට කැපවූ නායක ගර්හාඩ් එරෙස්මස් නම් කරන ලදී. අවසන් මහා තරගය ජයගත නොහැකි වුවද පැපුවා නිව් ගිනියා නායක අසාද් වාලා ප්‍රකාශ කළේ තරගාවලිය පුරාවට දැක්වූ දස්කම් නිසා තම රට ගෞරවයට පාත්‍ර කිරීමට තමන්ට හැකිවූ බවයි.

පැපුවා නිව් ගිනියාව – කඩුලු 8ක් දැවී ලකුණු 128 (පන්දුවාර 20):ලෙගා සියාකා 39, සෙසේ බොව් 29, ජේසන් කිලා 27*, බ්‍රැන්ඩන් ග්ලෝවර් 3/24, වැන් ඩර් මර්වි 2/15, වැන් ඩර් ගග්ටන් 2/18.

නෙදර්ලන්තය – කඩුලු 3ක් දැවී ලකුණු 134 (පන්දුවාර 19):බෙන් කූපර් 41, රයන් ටෙන්ඩස්කාටේ 34*, කොලින් ඇකර්මන් 29*, අසාද් වාලා 1/15, ඩේමියන් රවු 1/18.

චන්ද්‍රගුප්තගේ සටන්කාමී පිතිකරණයෙන් ජය හේලීස්ට

27 වැනි වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක්….

ශ්‍රී ලංකාවට හිමිවන තරග 

සුදුසුකම් ලැබීමේ තරගාවලිය අවසන් වීමත් සමඟ සලකනු ලැබූ කාල සීමාවේදී ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන 8 අතරට සුදුසුකම් ලබා නොසිටි ශ්‍රී ලංකා පිළට ලෝක කුසලානයේ මූලික වටයේ දී තරග වැදීමට සිදුවන කණ්ඩායම් ඇතුළත් කාල සටහන නිකුත් වී ඇත. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානය වෙනුවෙන් A කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට පහත සඳහන් තරග හිමිවී ඇත.

ඔක්තෝබර් 18 – ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය
ඔක්තෝබර් 20 – ශ්‍රී ලංකාව සහ පැපුවා නිව් ගිනියාව
ඔක්තෝබර් 22 – ශ්‍රී ලංකාව සහ ඕමානය