සත්කාරකයෝ එළියට 

ICC Men's T20 World Cup

82
ICC Men's T20 World Cup

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 2 වැනි කාණ්ඩයේ තරග නිමා කරමින් පැවැති බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූවා. ඔවුන් මෙවර තරගාවලියේ පිට පිට ම ලබා ගත් 7 වැනි ජයග්‍රහණයයි මේ.

Antigua හී ශ්‍රීමත් Vivian Richards ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් දකුණු අප්‍රිකානුවෝ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මෙම කඩඉමට පිවිසි තෙවැනි අවස්ථාව මෙයයි. ඊට පෙර ඔවුන් 2009 සහ 2014 වසරවල දී ද මෙම අවස්ථාව උදාකර ගත්තා.

ඒ සමඟ ම ආසන්නත ම වසරේ ලෝක ශූරයන් වූ එංගලන්තය ද ඉදිරි වටයට සුදුසුකම් ලබා ගන්නා ලද අතර ඔවුන් මේ දක්වා 2010, 2016, 2021 සහ 2022 යන වසරවල මෙම කඩඉම නියෝජනය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය මෙම කාණ්ඩයෙන් ඉදිරියට යෑමට සුදුසුකම් සපුරා ගනිද්දී මෙම කාණ්ඩයෙන් ම සුපිරි 8 වටයට පිවිසි සම සත්කාරකයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සේ ම ඇමෙරිකානුවන් ද මෙවර ලෝක කුසලානයේ තම ගමන එතෙකින් අවසන් කර ගන්නවා.

  • සුපිරි 8 වටයේ 2 වැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව
  Teams Mat Win Lost Tied N/R Points NRR
1 දකුණු අප්‍රිකාව 3 3 0 0 0 6 0.599
2 එංගලන්තය 3 2 1 0 0 4 1.992
3 බ. ඉ. කොදෙව් 3 1 2 0 0 2 0.963
4 ඇමෙරිකාව 3 0 0 0 0 0 -3.906

නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානුවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් Roston Chase පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්ස විස්ස ලෝක කුසලාන මංගල අර්ධ ශතකයයි.

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු Kyle Mayers පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

මොවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩ නගන්නේ කඩුලු 2ක් ලකුණු 5කට දැවී ගොස් අමාරුවේ වැටී තිබියදීයි.

කඩුලු දවා ගැනීමේ දී Tabraiz Shamsi ලකුණු 27කට කඩුලු 3ක් දවා ගන්නවා.

ලකුණු 136ක් හඹායන පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට පළමුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දු වාර 2.0ක් පමණයි. ඒ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වූ බැවිනුයි. ඒ වෙද්දී දකුණු අප්‍රිකානුවන්ගේ ආරම්භක පිතිකරු යුගල ම රැඳී සිටියේ ක්‍රීඩාගාරයේ වන අතර ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 2ක් දැවී ලකුණු 15ක් ලෙසයි.

වර්ෂාවෙන් අනතුරු ව නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දු වාර 17ක තරගයක් ලෙසයි. ඒ අනුව දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා ලැබුණ ඉලක්කය ලකුණු 123ක්. මේ ගමනේ දී Tristan Stubbs පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ Heinrich Klaasen පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා සිටියා.

බැලූ බැල්මට ම තරගයේ ජයග්‍රහණය සත්කාරකයන් සතු වන බවක් පෙන්නුම් කළ ද දකුණු අප්‍රිකාවනුවන් ද ලෙහෙසියෙන් තරගය අතහැරියේ නැහැ. ඔවුන් තරගයේ අවසන් පන්දුවාර ද්විත්වය වන විට ජයග්‍රහණයේ අවශ්‍යතාව පන්දු 12ක දී ලකුණු 13ක් බවට පත් කර ගත්තා.

16 වැනි පන්දුවාරයේ දී ඔවුන් ලකුණු 8ක් ලබා ගනිමින් කඩුල්ලක් ද පූජා කරමින් නිමා කරන අතර අවසන් පන්දු 6 දී ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යතාව ලකුණු 5ක් බවට පත් කර ගත්තා.

අවසන් පන්දු වාරයේ යැවුණ පළමු පන්දුවේ දී ම Marco Jansen විසින් එල්ල කරන ලද හයේ පහරත් සමඟින් තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවන් සතු වූවා. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලෙසින් දැක් වුණ අතර කොදෙව්වන්ට පන්දු 5ක විවේකයක් ද ලබා දුන්නා.

තරගය අවසන් වන විට Marco Jansen පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ Kagiso Rabada පන්දු 3ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Roston Chase ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත් අතර Andre Russell සහ Alzarri Joseph කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී 135 (20.0) Kyle Mayers 35, Roston Chase 52, Tabraiz Shamsi 3/27

දකුණු අප්‍රිකාව – කඩුලු 7ක් දැවී 124 (16.1) Tristan Stubbs 29, Heinrich Klaasen 22, Marco Jansen නොදැවී 21, Andre Russell 2/19, Alzarri Joseph 2/25, Roston Chase 3/12

දකුණු අප්‍රිකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3ක ජයක්.

තරගයේ වීරයා – Tabraiz Shamsi (දකුණු අප්‍රිකාව)

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<