Phil Salt එංගලන්තය දිනවයි

87
ICC Men's T20 World Cup 2024 West Indies vs England

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු Phil Salt ගේ ආකර්ශනීය ඉනිම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට ජයග්‍රහණයකින් පිවිසීමට එංගලන්තය සමත් වූවා.

St Lucia හී Daren Sammy ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමඟ පැවැති මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූවා.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන් සතු කළ අතර ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයෝ තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේ මෙවර තරගාවලියේ එතෙක් අපරාජිතයන් සේ සිටි කිරුළ ද කොදෙව්වන්ට අහිමි කරමිනුයි.

කොදෙව් ඉනිම තරගකාරි ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ දී Johnson Charles පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් අතර එය කොදෙව් ඉනිමේ පිතිකරුවෙන් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට අමතර ව Nicholas Pooran සහ Rovman Powell ලකුණු 36ක් බැගින් ලබා ගත්තා. ඒ අතුරින් Rovman Powell ගේ ඉනිම පන්දු 17කින් සමන්විත වූ අතර ඊට හයේ පහර 5ක් එක් කිරීමට ද ඔහු සමත් වූවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Brandon King ආබාධිත තත්ත්වයක් මත අතරමඟ දී ඉනිම හැර යද්දී පන්දු 13ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක ද සහ  Sherfane Rutherford පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Moeen Ali, Liam Livingstone, Adil Rashid සහ Jofra Archer කඩුල්ල බැගින් බෙදා ගත්තා.

එංගලන්ත කණ්ඩායමේ හඹා යන පිළිතුරු ඉනිමේ දී ආරම්භක දකුණත් පිතිකරු Phil Salt පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.

ඔහු Jonny Bairstow සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 44ක දී නොදැවුණ ලකුණු 97ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූවා. Jonny Bairstow තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක Jos Buttler පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Roston Chase සහ Andre Russell කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව..,

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 4ක් දැවී 180 (20.0) Brandon King 23, Johnson Charles 38, Nicholas Pooran 36, Rovman Powell 36, Sherfane Rutherford 28

එංගලන්තය – කඩුලු 2ක් දැවී 181 (17.3) Phil Salt 87, Jos Buttler 25, Jonny Bairstow නොදැවී 48

එංගලන්තයට කඩුලු 8ක ජයක්.

තරගයේ වීරයා – Phil Salt (එංගලන්තය)

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<