9 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජුනි මස 02 වැනිදා සිට ජුනි මස 29 වැනිදා දක්වා ඇමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැත්වීමට නියමිතයි.
මෙරට දින දසුන අනුව මෙවර තරගාවලිය ජුනි මස 02 වැනිදා ආරම්භ වීමට නියමිත වුව ද එරට අනුව තරගාවලියේ ආරම්භය සිදු වෙන්නේ ජුනි මස 01 වැනිදායි. එරට වේලාවෙන් එදින රාත්‍රී 7.30ට සත්කාරක ඇමෙරිකාව සමඟින් කැනඩාව අතර ආරම්භ වන පළමු තරගය මෙරට වේලාව අනුව ආරම්භ වෙන්නේ ජුනි මස 02 වැනිදා උදෑසන 6.00ටයි.
මෙවර තරගාවලිය සඳහා පළමු වරට කණ්ඩායම් 20ක් එක් වීම විශේෂත්වයක්. ඒ අනුව 8 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ පළමු කණ්ඩායම් 8 අතරට ශ්‍රේණිගත වූ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ද, තරගාවලියේ සත්කාරකත්වය දරණ ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ද සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය ද තරගාවලියට සෘජුව ම සම්බන්ධ වීමට වරම් ලබා ගන්නවා.
ඊට අමතර ව Europe Regional Qualifier තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා ස්කොට්ලන්තය සහ අයර්ලන්තය ද, East Asia-Pacific Qualifier තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා පැපුවා නිව් ගිනියාව ද, Americas Qualifier තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා කැනඩාව ද, Asia Qualifier තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා නේපාලය සහ ඕමානය ද සහ Africa Qualifier තරගාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා නැමීබියාව සහ උගන්ඩාව ද මෙවර ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරිමට සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව මෙවර තරගාවලියේ දී ප්‍රථම වරට ඇමෙරිකාව, කැනඩාව සහ උගන්ඩාව ලෝක කුසලාන තරගාවලියක් හා එක් වීමට වරම් ලබා ගන්නවා. මෙතෙක් නිමා වූ ලෝක කුසලාන තරගාවලීන් තුළ රටවල් 21ක් එක් ව ඇති අතර අලුතෙන් ම එකතු වූ රටවල් 3ත් සමඟින් ලෝක කුසලාන තරග නියෝජනය කළ රටවල් ප්‍රමාණය 24ක් බවට පත් වෙනවා.
මෙතෙක් නිමා වූ ලෝක කුසලාන තරග ඉතිහාසයේ එක් එක් රටවල් ඊට මුහුණ දුන් ආකාරය
Team | Best Result | Mat | Won | Lost | Tie | NR | |
1 | ශ්‍රී ලංකාව | ශූරතාව 2014 | 51 | 31 | 19 | 1 | 0 |
2 | පාකිස්තානය | ශූරතාව 2009 | 47 | 28 | 18 | 1 | 0 |
3 | ඉන්දියාව | ශූරතාව 2007 | 44 | 27 | 15 | 1 | 1 |
4 | එංගලන්තය | ශූරතාව 2010 සහ 2022 | 44 | 24 | 19 | 0 | 1 |
5 | නවසීලන්තය | අනු ශූරතාව 2021 | 42 | 23 | 17 | 2 | 0 |
6 | ඔස්ට්‍රේලියාව | ශූරතාව 2021 | 40 | 25 | 15 | 0 | 0 |
7 | දකුණු අප්‍රිකාව | අනු ශූරතාව 2009 සහ 2014 | 40 | 24 | 15 | 0 | 1 |
8 | බ. ඉ. කොදෙව් | ශූරතාව 2012 සහ 2016 | 39 | 19 | 18 | 1 | 1 |
9 | බංග්ලාදේශය | සුපිරි 8 වටය 2007 | 38 | 9 | 28 | 0 | 1 |
10 | අයර්ලන්තය | සුපිරි 8 වටය 2009 | 25 | 7 | 15 | 0 | 3 |
11 | නෙදර්ලන්තය | සුපිරි 12 වටය 2022 | 23 | 9 | 13 | 0 | 1 |
12 | ඇෆ්ගනිස්තානය | සුපිරි 10 වටය 2016 | 22 | 7 | 15 | 0 | 0 |
13 | සිම්බාබ්වේ | සුපිරි 12 වටය 2022 | 20 | 8 | 11 | 0 | 1 |
14 | ස්කොට්ලන්තය | සුපිරි 12 වටය 2021 | 18 | 5 | 12 | 0 | 1 |
15 | නැමීබියාව | සුපිරි 12 වටය 2021 | 11 | 4 | 7 | 0 | 0 |
16 | ඕමානය | පළමු වටය 2016 සහ 2021 | 6 | 2 | 3 | 0 | 1 |
17 | හොංකොං | පළමු වටය 2014 සහ 2016 | 6 | 1 | 5 | 0 | 0 |
18 | UAE | පළමු වටය 2014 සහ 2022 | 6 | 1 | 5 | 0 | 0 |
19 | නේපාලය | පළමු වටය 2014 | 3 | 2 | 1 | 0 | 0 |
20 | පැපුවානිව්ගිනියාව | පළමු වටය 2021 | 3 | 0 | 3 | 0 | 0 |
21 | කෙන්යාව | පළමු වටය 2007 | 2 | 0 | 2 | 0 | 0 |
මෙවර ලෝක කුසලාන තරගාවලිය තරග 55කින් සමන්විත අතර තරගාවලියේ තරග 16ක් ඇමෙරිකාවේ ක්‍රීඩාංගණ 3ක දී ද ඉතිරි තරග 39 බටහිර ඉන්දීය කොදෙව් දූපත් 6ක දී ද පැවැත්වීමටයි සංවිධායකයන්ගේ සැලසුම.
- T20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව පෑ අභිමන්
- විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය
- T20 ලෝක කුසලානය අබියස මහීෂ් පන්දු යවන්නන් අතරේ ඉදිරියට!
- විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය
- T20 ලෝක කුසලානයේ දී අපිට හමුවෙන ප්‍රතිවාදීන්
මෙවර තරගාවලියට ඉදිරිපත් වෙන කණ්ඩායම් කාණ්ඩ ගත වෙන්නේ මේ අයුරිනුයි.
A කාණ්ඩය – ඉන්දියාව, පාකිස්තානය, කැනඩාව, අයර්ලන්තය සහ ඇමෙරිකාව.
B කාණ්ඩය – එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමාන්.
C කාණ්ඩය – නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, පැපුවා නිව් ගිනියාව සහ උගන්ඩාව.
D කාණ්ඩය – දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ නෙදර්ලන්තය.
ඒ අනුව සැකසී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන
- ජුනි 03 වැනිදා, දකුණු අප්‍රිකාව සමඟ රාත්‍රී 8.00ට New York හි දී
- ජුනි 08 වැනිදා, බංග්ලාදේශය සමඟ උදෑසන 6.00ට Dallas හි දී.
- ජුනි 12 වැනිදා, නේපාලය සමඟ උදෑසන 5.00ට Lauderhill හි දී.
- ජුනි 17 වැනිදා, නෙදර්ලන්තය සමඟ උදෑසන 6.00ට Gros isletහි දී.
මේ ආකාරයෙන් අනෙකුත් කණ්ඩායම් ද පළමු වටයේ දී තරග 4ක් බැගින් සහභාගී වෙන අතර එම වටයේ තරග ප්‍රතිඵල අනුව කාණ්ඩ ශූරයන් සහ අනුශූරයන් එක් ව සෑදෙන සුපිරි 8 දෙනාගේ වටයේ තරග ජුනි මස 19 වැනිදා සිට ආරම්භ විමට නියමිතයි. එම තරග ද පැවැත්වෙන්නේ කාණ්ඩ 2ක් යටතේ වන අතර මෙවර තරගාවලියේ දී සුපිරි 8 වටයට එක් වෙන කණ්ඩායම් ද මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මඟින් අනුමාන කරමින් තරග කාලසටහනට එක් කර තිබිම විශේෂයි.
ඒ අනුව පළමු කාණ්ඩයෙන් ඉන්දියාව (A1), ඔස්ට්‍රේලියාව (B2), නවසීලන්තය (C1) සහ ශ්‍රී ලංකාව (D2) ද 2 වැනි කාණ්ඩයෙන් පාකිස්තානය (A2), එංගලන්තය (B1), බටහිර ඉන්දීය කොදෙව් (C2) සහ දකුණු අප්‍රිකාව (D1) ද මෙම ලැයිස්තුවට එක් වෙනවා.
මේ අනුමාන කිරීම් අනුව තම කාණ්ඩවලින් 1 වැනි හෝ 2 වැනි ස්ථාන ලැබූව ද එකී කණ්ඩායම් පෙර නම් කරන ලද ස්ථානවල සිට ම තරගාවලියට එක් කෙරෙන ලෙසයි මෙම ලැයිස්තුව සකසා ඇත්තේ.
මේ ආකාරයට ශ්‍රී ලංකාව සහ එම කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් සුපිරි 8 වටයට එක් වුවහොත් ඔවුන්ගේ කාලසටහන සැකසී ඇත්තේ මෙලෙසයි.
- ජුනි 20 වැනිදා, ඔස්ට්‍රේලියාව සමඟ රාත්‍රී 8.30, Antiguaහි දී.
- ජුනි 22 වැනිදා, ඉන්දියාව සමඟ උදෑසන 10.30ට Antiguaහි දී.
- ජුනි 24 වැනිදා, නවසීලන්තය සමඟ රාත්‍රී 8.30ට Saint Vincentහි දී.
කෙසේ වෙතත් මෙම නම් කරන ලද කණ්ඩායමක් නොවන කණ්ඩායමක් සුපිරි 8 වටයට එක් වීමේ සුදුසුකම් සපුරා ගන්නේ නම් සුදුසුකම් සපුරා නොගත් කණ්ඩායම ඉවත දැමෙන අතර එම කණ්ඩායම හිමි ස්ථානයෙන් සුදුසුකම් සපුරාගත් කණ්ඩායම තරගාවලියට එක් වීමට නියමිතයි.
මෙලෙසින් සුපිරි 8 වටය කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන අතර එම කාණ්ඩ අතුරින් ද ශූරයන් සහ අනුශූරයන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
ඒ අනුව පළමු කාණ්ඩයේ ශූරයන් 2 වැනි කාණ්ඩයේ අනුශූරයන් සමඟ ද 2 වැනි කාණ්ඩයේ ශූරයන් පළමු කාණ්ඩයේ අනුශූරයන් සමඟ ද තරග වැදෙන අතර එම තරගවලින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.
ගිය වර ලෝක කුසලාන ජයග්‍රාහකයන් වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.6ක මුදල් ත්‍යාගයක් හිමිකර දුන්න ද මෙවර මේ දක්වා මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිකර දෙන මුදල සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයක් කර නැහැ.
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<