ඇමරිකාවෙන් පාකිස්තානයට ඉතිහාසගත ප්‍රහාරයක්!

ICC T20 Cricket World Cup 2024

73

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් ආන්දෝලනාත්මක තරගයක් අද (07) උදෑසන අවසන් වුනේ ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සුපිරි පන්දුවාරයේ දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (06) රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඇමරිකාව සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

මෙහි දී පාකිස්තාන ඉනිමේ ආරම්භය මන්දගාමී කරවීමට ඇමරිකානු පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, ඉනිමේ පළමු පන්දුවාර 10 නිමා වන විට පාකිස්තානය කඩුලු 3ක් දැවී ගොස් ලබා ගැනීමට සමත් වී සිටියේ ලකුණු 60ක් පමණයි.

කෙසේ වෙතත් නායක Babar Azam තරමක් සෙමෙන් දියත් කළ ඉනිමක් ද සමඟ පිටියේ දීර්ඝ වේලාවක් රැඳී සිටීමට සමත් වූ අතර, ඔහුගේ සහයට එක් වූ අංක පහ පිතිකරු Shadab Khan විසින් පන්දු 25ක් තුළ ලකුණු 40ක් ලබා ගනිමින් පාකිස්තානයට තරමක් හොඳ මට්ටමේ අවසානයක් වෙත යාමට මාවත විවර කර දුන්නා. මෙහි දී Babar විසින් පන්දු 43කින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව Shaheen shah Afridiගේ පිත්තෙන් වේගවත් ලකුණු 23ක් ඉනිමට එක් වුනා.

ඇමරිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Nosthush Kenjige කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

පාකිස්තානයෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ඇමරිකානු පිතිකරුවන් කිසිවකු හෝ නොසිතූ අන්දමින් පිතිකරණයේ යෙදීමට සමත් වූ අතර, ඔවුන් පන්දුවාර 12 පන්දු 3ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 100ක් වාර්තා කිරීමට ද සමත් වුනා.

කෙසේ වෙතත් ඇමරිකානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ නැවතත් තරගයේ පාලනය සියතට ගැනීමට Mohammad Aamir ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන් විසින් සමත් වුනත්, ඇමරිකානු ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කළ Haris Rauf හට සිය පන්දුවාරයේ දී ඇමරිකාවට තරගය සම මට්ටමට ගෙන ඒමට අවශ්‍ය වූ ලකුණු 14 ආරක්ෂා කර ගැනීමට නොහැකි වුනා.

මෙහි දී ඇමරිකාව වෙනුවෙන් නායක Monank Patel ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, පෙර තරගයේ දී කැනඩාවට එරෙහිව විශිෂ්ට දස්කම් පෑ Aaron Jones නැවතත් ක්‍රියාත්මක වෙමින් වටිනා ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව තරගයේ ලකුණු තත්වය සම මට්ටමට පැමිණෙමින් දෙපිළම සිය ඉනිම් සඳහා ලකුණු 159 බැගින් රැස් කළ අතර, තරගය සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගියා.

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහර දීමට ඇමරිකාවට අවකාශය හිමි වූ අතර, පාකිස්තානය වෙනුවෙන් Mohammad Aamir පන්දුව අතට ගත්තා. නමුත් මෙවර Aamirගේ පන්දු යැවීම පෙර මෙන් සාර්ථක නොවූ අතර, ඔහු විසින් ඇමරිකාවට වයිඩ් පන්දු තුනක් සමඟින් අතිරේක ලකුණු 7ක් පූජා කිරීම නිසා පාකිස්තානයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 6ක් තුළ ලකුණු 19ක් ලබා ගැනීමට සිදු වුනා.

නමුත් පාකිස්තානයට අදාළ පන්දුවාරය තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 13ක් පමණයි. මේ අනුව ඇමරිකා එක්සත් ජනපදය විසින් පාකිස්තානයට එරෙහිව ඉතිහාසගත ජයක් ලබමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට සමත් වූ අතර, ඒත් සමඟින් ඔවුන් තරගාවලියේ A කාණ්ඩයේ ඉන්දියාව සහ පාකිස්තානය අබිබවා යමින් පළමු ස්ථානය ද හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

  • පාකිස්තානය – 159/7 (20) Babar Azam 44, Shadab Khan 40, Nosthush Kenjige 3/30, Saurabh Netravalkar2/18
  • ඇමරිකා එක්සත් ජනපදය – 159/3 (20) Monank Patel 50, Aaron Jones 36*, Mohommad Aamir 1/25

Super Over

  • ඇමරිකා එක්සත් ජනපදය – 18/1 (1)
  • පාකිස්තානය – 13/1 (1)

තරගයේ වීරයා – Monank Patel 

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<