9 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අවාසනාවන්ත නිමාවකින් යුක්ත වූවා. එහි දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අවර ගණයේ ක්‍රීඩා විලාසයක් දුටු අතර ඒ හේතුවෙන් ම විස්සයි විස්ස තරග පිටියේ අවාසනාවන්ත තරග වාර්තා කිහිපයක ම හිමිකාරීත්වය ද ඔවුන් සතු වුවා.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංග ගේ ලෝක කුසලාන තරගමාලාවන් හී පළමු නායකත්වයේ තරගය බවට පත් වූ අතර කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර ගේ මංගල ලෝක කුසලාන තරගය බවට ද පත් වුනා.
77: විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණයයි මේ තරගයේ දී වාර්තා වූයේ.
මීට පෙර ශ්‍රී ලංකාවේ දුර්වල ම ඉනිම බවට පත් ව තිබුණේ 2016 ඉන්දීය සංචාරයේ දී Visakhapatnam හී පැවැති තරගයේ දී ලකුණු 82කට දැවී යෑමයි.
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් අඩු ම ලකුණු ප්‍රමාණයකට මීට පෙර දැවී ගොස් ඇත්තේ 2010 වසරේ දී වන අතර ඒ ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 87කට දැවී යෑමයි.
4.0-0-7-4: දකුණු අප්‍රිකාවේ දකුණතින් වේග පන්දු යවන Anrich Nortje නිමා වූ මෙම තරගයේ දී තම පන්දු වාර 4 ලකුණු 7කට සීමා කරමින් යැවීමට සමත් වෙනවා. එය විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක්ට හිමි පන්දු වාර 4 අඩු ම ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් යැවූ වාර්තාවට හිමිකම් කියන දක්ෂතාවක් වූවා.
මීට පෙර මෙම වාර්තාවේ පළමු අසුන සම ව හිමි කර ගෙන සිටියේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් සහ වනිඳු හසරංග මෙන් ම බංග්ලාදේශයේ Mohammad Mahmudullah විසිනුයි. ඔවුන් තිදෙනා අතුරින් අජන්ත මෙන්ඩිස් 2012 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව හම්බන්තොට දී තම පන්දු යැවීම 4.0-2-8-6ක් ලෙසින් ද, Mohammad Mahmudullah 2014 වසරේ දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව Mirpur හි දී තම පන්දු යැවීම 4.0-1-8-1ක් ලෙසින් ද සහ වනිඳු හසරංග 2022 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තම පන්දු යැවීම 4.0-1-8-3ක් ලෙසින් ද නිමා කිරීමට සමත් වෙනවා.
එමෙන් ම මෙම දක්ෂතාව විස්සයි විස්ස ඕනෑ ම තරගය දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද වූවා. ඊට පෙර මෙම ස්ථානයේ රැදී සිටියේ 2012 වසරේ දී නවසීලන්තයට එරෙහි ව තම පන්දුවාර 4 ලකුණු 8කට සීමා කළ Robin Peterson.
127x0s: මෙම තරගය විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු ලබා නොගත් වැඩිම පන්දු ප්‍රමාණයක් යැවූ තරගය බවට ද පත් වූවා. එහි පළමු ස්ථානය ඊට දිනකට පෙර නිමා වූ නැමීබියාව සහ ඕමානය තරගය සතු වූවා. එම තරගයේ දී දෙපිලේ පන්දු යවන්නෝ ලකුණු ලබා නොදුන් පන්දු 123ක් යැවීමට සමත් වූවා.
74x0s: මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ මුහුණ දුන් පන්දු 115න් ලකුණු ලබා නොගත් පන්දු 74ක් අඩංගු වූ අතර එය ඇෆ්ගනිස්තානය හා සම කළ විස්සයි විස්ස ලෝක කුසලාන වාර්තාවක් වූවා. ඊට පෙර 2012 වසරේ දී ඇෆ්ගනිස්තාන සහ එංගලන්තය අතර තරගයේ දී ඇෆ්ගනිස්තානය ද මේ ලෙසින් ම තම ඉනිමේ දී පන්දු 74ක දී ලකුණු ලබා තිබුණේ නැහැ.
-10: මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවේ Anrich Nortje (4-0-7-4) සහ Ottneil Baartman (4-1-9-1) විසින් තම පන්දු වාර 4 ලකුණු 10කට වඩා අඩුවෙන් යවනු ලැබූ අතර ඔවුන් දෙදෙනා ලෝක කුසලාන තරග ඉතිහාසයක දී එවන් දක්ෂතාවක් කළ පළමු පන්දු යවන්නන් දෙදෙනා බවට පත් වූනා.
- ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්!
- ශ්‍රී ලංකාවේ Upset ම 3
- ලෝක කුසලානයේ අභියෝගාත්මක ක්‍රීඩකයෝ
- T20 ලෝක කුසලානයේ දී අපිට හමුවෙන ප්‍රතිවාදීන්
- T20 ලෝක කුසලානයට ගිය සිංහ පෝතකයෝ
11: Anrich Nortje මේ සහභාගී වූයේ තම 11 වැනි ලෝක කුසලාන තරගයටයි. ඒ සහභාගී වූ සෑම තරගයක දී ම ඔහු කඩුල්ලක් හෝ ලබා ගන්නා ලද අතර ඒ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ තමන් සහභාගී වූ සෑම තරගයක දී ම කඩුල්ලක් හෝ දවා ගනිමින් අවසන් කළ පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට Anrich Nortje සමත් වෙනවා.
මීට පෙර මෙම දක්ෂතාව කර තිබුණේ ඉන්දියාවේ Ashish Nehra. ඔහු 2010 වසරේ සහ 2016 වසරේ ලෝක කුසලාන තරගාවලීන්වල තරග 10කට සහභාගී වෙමින් ඒ සෑම තරගයක දී ම කඩුල්ලක් හෝ ලබා ගනිමින් කඩුලු 15ක් ලබා සිටියා.
20x0s: මෙම තරගයේ දී දකණු අප්‍රිකාවේ Ottneil Baartman ලකුණු ලබා නොදුන් පන්දු 20ක් යැවූ අතර එය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එවන් දක්ෂතාවන් කළ තවත් පන්දු යවන්නන් දෙදෙනෙක් හා සම තැන් ගැනීමට කළ දක්ෂතාවක් බවට පත් වුනා.
ඊට පෙර 2012 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අජන්ත මෙන්ඩිස් ද සහ 2010 වසරේ දී අයර්ලන්තයට එරෙහි ව Kemar Roach ද මෙම දක්ෂතාව සිදු කර තිබුණා.
Ottneil Baartman විසින් කළ මෙම දක්ෂතාව දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද වුනා. ඊට පෙර එරට වෙනුවෙන් මෙම දක්ෂතාව කර තිබුණේ 2010 වසරේ දී Charl Langeveldt විසින් ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලකුණු ලබා නොදෙමින් යවනු ලැබූ පන්දු 19යි.
4/07: Anrich Nortje ගේ මෙම දක්ෂතාව ශ්‍රී ලංකාවට එරෙහි ව ලෝක කුසලාන තරගාවලියක දී පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූවා. ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය 2022 වසරේ Sydney හි දී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත් නවසීලන්තයේ Trent Boult සතු වුනා.
2022 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව ලකුණු 10කට කඩුලු 4ක් දවා ගනිමින් ලෝක කුසලාන තරගාවලියක දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාවය දක්වා තිබූ Anrich Nortje තමන් සතු එම වාර්තාව මෙවර අළුත් කිරීම ද කැපී පෙණුනා.
එමෙන් ම නිමා වූ තරගයේ දී Anrich Nortje පෑ දක්ෂතාව ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම ද වූවා. ඊට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම වී තිබුණේ පෙර කී බංග්ලාදේශයට එරෙහි ව පෑ දක්ෂතාවයි.
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.