බාබඩෝස් කල්ලාගේ ලෝක කුසලාන මෙහෙයුම

ICC Men's T20 World Cup

133

2017 වසරේ දී බාබඩෝස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසෙන Aaron Jones පළමු වරට ඇමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමක් හා එක් වෙන්නේ ඊට පසු වසරේ දී ICC World Cricket League තෙවැනි පෙළ තරගාවලිය හා එක් වෙමින්.  

එම තරගාවලියේ දී තරග 5කට එක් වෙන Aaron අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 200ක් ලබා ගනිමින් ඇමෙරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙනවා. 

ඔහුගේ ඒ ප්‍රවිශ්ඨය කෝඩුකාර ඇමෙරිකාවට ප්‍රවේගවත්, විශ්වසනීය පිතිකරුවෙක් ගේ අඩු-පාඩුවට මනා ව ගැලපෙනවා. ඒ අනුව 2019 වසරේ දී පළමුවෙන් ම විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ද සහ එම වසරේ දී ම එක්දින ජාත්‍යන්තර වරම් ද ඔහු වෙත හිමි වෙනවා. 

මෙවර ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙද්දී ඔහු එක්දින ජාත්‍යන්තර තරග 43කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1454ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 26ක ඉනිම් 24ක දී අර්ධ ශතයක් සමඟින් ලකුණු 384ක් ද ලබා සිටියා.  

එවන් තත්ත්වයක් මත සිටිය දී ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ඇමෙරිකානු කණ්ඩායමේ උප නායකත්වයේ වගකීම ද ඔහු වෙත පවරා තිබුණා. තම මංගල තරගයේ දී ම එම වගකීම මනාව ඉටු කිරීමට Aaron Jones සමත් වෙනවා. 

1 වැනි තරගය, A කාණ්ඩය (රාත්‍රී), Dallas, ජුනි 01, 2024 

o ක්‍රීඩාංගණය – Grand Prairie Stadium, Dallas 

o කාසියේ වාසිය – ඇමෙරිකාව  

කැනඩාව – කඩුලු 5ක් දැවී 194 (20.0) Navneet Dhaliwal 61, Nicholas Kirton 51, Harmeet Singh 1/27 

ඇමෙරිකාව – කඩුලු 3ක් දැවී 197 (17.4) Andries Gous 65, Aaron Jones නොදැවී 94, Dilon Heyliger 1/19 

ඇමෙරිකාවට පන්දු 14ක් ඉතිරි ව තිබිය දී කඩුලු 7ක ජයක්.  

තරගයේ වීරයා – Aaron Jones (ඇමෙරිකාව) 

මෙම තරගයේ දී Aaron Jones ලෝක කුසලාන ඉතිහාසයේ ඇමෙරිකාව වෙනුවෙන් වාර්තා කරන ලද පළමු අර්ධ ශතකය, වේගවත් ම අර්ධ ශතකය, පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණය, පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද වැඩිම හයේ පහර සංඛ්‍යාව මෙන් ම පළමු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.  

මෙවැනි ම වූ තරගයක් අපි 2007 වසරේ පැවැති මංගල ලෝක කුසලාන තරගාවලියේ ද දකිනවා.  

1 වැනි තරගය, A කාණ්ඩය (රාත්‍රී), Johannesburg, සැප්තැම්බර් 11, 2007 

o ක්‍රීඩාංගණය – New Wanderers Stadium, Johannesburg 

o කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව 

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 6ක් දැවී 205 (20.0) Chris Gayle 117, Devon Smith 35, Johan van der Wath 2/33 

දකුණු අප්‍රිකාව – කඩුලු 2ක් දැවී 208 (17.4) Herschelle Gibbs නොදැවී 90, Justin Kemp නොදැවී 46, Fidel Edwards 1/21 

දකුණු අප්‍රිකාවට පන්දු 14ක් ඉතිරි ව තිබිය දී කඩුලු 8ක ජයක්.  

තරගයේ වීරයා – Chris Gayle (බටහිර ඉන්දීය කොදෙව්) 

මෙම තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි Chris Gayle ලෝක කුසලාන ඉතිහාසයේ මංගල ශතකය,  මෙන් ම සහ තවත් වාර්තා කිහිපයක් ද සමඟින් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.  

මෙම තරග ද්විත්වයේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ  Chris Gayle සහ Aaron Jones ගේ ඉනිම් 2 ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තාවන් පිළිබඳ ව නැවත කතා බහට ලක් කෙරෙන මාතෘකාවන් බවට පත් වුනා.  

94*: Aaron Jones ගේ මෙම ඉනිම ලෝක කුසලාන ඉතිහාසයේ තමන්ගේ පළමු තරගයේ දී වාර්තා කරන ලද ඉනිම් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිමයි.  

මෙහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ලෝක කුසලාන ඉතිහාසයේ මංගල තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 117ක් ලබා ගත් Chris Gayle. 

එමෙන් ම Aaron Jones ගේ මෙම ඉනිම ඇමෙරිකානු විස්සයි විස්ස තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු අතර 2 වැනි ස්ථානයට ද පත් වෙනවා. මෙම වාර්තාවේ පළමු අසුන වෙන් ව තිබෙන්නේ 2022 වසරේ දී Jersey කණ්ඩායමට එරෙහි ව ලකුණු 101ක් ලබා සිටින Steven Taylor වෙතයි.  

10x6s: මෙම තරගයේ දී Aaron Jones තම ඉනිමට හයේ පහර 10ක් එකතු කර ගන්නා ලද අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ මංගල ඉනිමක දී පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තා ව සම කරන දක්ෂතාවක් වූවා. එහි පෙර හිමිකරුව සිටියේ එම දක්ෂතාව ම කළ Chris Gayle. 

එමෙන් ම මෙම දක්ෂතාව ලෝක කුසලාන ඉනිමක දී වැඩිම හයේ පහර ලබා ගත් පිතිකරු ඉනිම් අතර 2 වැනි ස්ථානයේ සම ව අසුන් ගන්නා දක්ෂතාවක් ද වූවා.  

එහි පළමු මෙන් ම 2 වැනි අසුන් ද වෙන් වෙන් ව තිබෙන්නේ Chris Gayle සතුවයි. ඔහු 2016 වසරේ දී එංගලන්තයට එරෙහි ව හයේ පහර 11ක් වාර්තා කරන ලද අතර ඊට පෙර තම මංගල ඉනිමේ දී හයේ පහර 10ක් වාර්තා කිරීමට සමත් වෙනවා.  

 Aaron Jones ගේ මෙම ඉනිම ඇමෙරිකානු ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් විස්සයි විස්ස ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම හයේ පහර සංඛ්‍යාව ද වූවා. මෙම ලැයිස්තුවේ මීට පෙර ඇමෙරිකානු පිතිකරුවන් දෙදෙනෙක් රැදී සිටියා. ඒ අයර්ලන්තයට එරෙහි ව 2021 දී හයේ පහර 5ක් එල්ල කළ Gajanand Singh සහ 2022 දී Jersey කණ්ඩායමට එරෙහි කළ Steven Taylor.  

22b: මෙම තරගයේ දී Aaron Jones තම අර්ධ ශතකය පන්දු 22ක දී වාර්තා කරන අතර එය ඇමෙරිකානු විස්සයි විස්ස තරග ඉතිහාසයේ වේගවත් ම අර්ධ ශතකයයි. ඔහු තම අර්ධ ශතකය ලබා ගන්නා විට හතරේ පහරක් සහ හයේ පහර 6ක් එල්ල කර තිබුණා.   

නමුත් Chris Gayle තම ඉනිමේ පළමු ලකුණු 50 වාර්තා කරන්නට පන්දු 26ක් වැය කරන අතර ඒ වෙද්දී ඔහුගේ ඉනිමේ තිබුණේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් පමණයි.  

Man of the Match: ඇමෙරිකානු කණ්ඩායම මෙම තරගයෙන් ජයගන්නා අතර තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙන්නේ Aaron Jones.  නමුත් බටහරි ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයෙන් පරාජය වූව ද තරගයේ වීරයා ලෙසින් නම් කෙරෙන්නේ Chris Gayle.  

195: ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගොස් ජයග්‍රහණය කරන ලද ඉනිම් අතර 3 වැනි ස්ථානයට පත් ඉනිම ලෙස ඇමෙරිකානු ඉනිම පත් වෙනවා. මෙම තරගයේ දී කැනඩාව කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගන්නා ලද අතර ඇමෙරිකාව කඩුලු 3ක් දැවී ලකුණු 197ක් ලබා ගනිමින් එම ඉනිම අභිබවා යනවා.   

මෙම ලැයිස්තුවේ පළමු අසුන එංගලන්තයට හිමි වෙන්නේ 2016 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු වාර 19.4ක දී කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගැනීමයි. එහි 2 වැනි ස්ථානය දකුණු අප්‍රිකාව සතු කර ගන්නවා. ඒ 2007 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පන්දු වාර 17.4ක දී ලබා ගත් ලකුණු 208යි.  

මෙම ලැයිස්තුවේ මෙතෙක් 3 වැනි අසුන හිමි කරගෙන සිටියේ ඔස්ට්‍රේලියාව වන අතර ඔවුන් 2010 වසරේ දී පාකිස්තානයට එරෙහි ව ලකුණු 197ක් හඹා යනවා. නමුත් ඔවුන් එම දක්ෂතාව සිදු කරන්නේ පන්දුවාර 19.5ක් වැය කරමින් කඩුලු 7ක් අහිමි කර ගනිමිනුයි.  

197/3 (17.4): මෙම ඉනිම Grand Prairie ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.  

එමෙන් ම මෙම ඉනිම ඇමෙරිකානු විස්සයි විස්ස තරග ඉතිහාසයේ 3 වැනි හොඳම ඉනිම බවට ද පත් වුනා. මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය මේ වසරේ කැනඩා කණ්ඩායමට ම එරෙහිව කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 230ට හිමි වෙන අතර 2 වැනි ස්ථානය 2022 වසරේ දී සිංගප්පූරුවට එරෙහිව කඩුලු 6කට ලබා ගත් ලකුණු 201ට හිමි වෙනවා.   

131: Aaron Jones සහ Andries Gous එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 131ක සබඳතාවක් එක් කරන ලද අතර එය ඇමෙරිකාව වෙනුවෙන් ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වුනා.  

එදා මංගල ලෝක කුසලානයේ මංගල තරගයේ දී සුපිරි කණ්ඩායමක් ලෙසින් දක්ෂතා දැක් වූ බටහිර ඉන්දීය කොදෙව්වෝ තම දෙවැනි තරගයේ දී බංග්ලාදේශය වෙතින් කඩුලු 6ක පරාජයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ හේතුවෙන් ම ඔවුන්ට එතැනින් එහාට එම තරගාවලියේ ඉදිරියට යෑමට ඉඩක් ලැබෙන්නේ නැහැ.   

නමුත් ඔවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවස්ථා 2ක දී ජයග්‍රාහකයන් ලෙසින් පසු කාලයකට පසුව අභිශේක ලබනවා.  

ඇමෙරිකාව තම මංගල ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන්නේ කොදෙව්වන් ලෙසින් නොව සුපිරි ජයග්‍රහණයකින්. ඔවුන්ට මෙම තරගාවලියේ ඉදිරි යෑමට නම් තවත් අභියෝගාත්මක තරග 3ක් ඉතිරි ව තිබෙනවා.  

එම තරග කෙසේ අවසන්වේ ද? එදා මෙන් නොව අද, එදා සිට මේ දක්වා බටහිර ඉන්දීය කොදෙව්වෝ කළ දේ අද ඇමෙරිකාව කරතැයි සිතිය නොහැකියි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත බැව් නම් පැවැසියි හැකියි. 

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<