ශ්‍රී ලංකාවේ Upset ම 3

ICC Men's T20 World Cup

219

9 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබුණත් එහි කතාන්දරවල නම් අඩුවක් නැහැ. අපි මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන ඉතිහාසයේ මුහුණ දුන් අසාර්ථක ම ඉනිම් 3 ගැනයි.

Upset – 1

22 වැනි තරගය, F කාණ්ඩය, Cape Town, සැප්තැම්බර් 20, 2007

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සමඟිනුයි. ඒ වෙද්දී ශ්‍රී ලංකාව තරගාවලියේ තරගකාරී කණ්ඩායමක් ලෙසින් හැඳින් වී තිබුණා. ඒ ඔවුන් සහභාගී වූ මංගල තරගයේ දී තවමත් නොබිඳුණු වාර්තාවක් වූ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම ලෙසත් සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් C කාණ්ඩයෙන් ප්‍රථමයා වෙමින් සුපිරි 8 වටයට පිවිසීමත් හේතුවෙනුයි.

පළමු වටයේ දී ශ්‍රී ලංකාවේ පළමු තරගය පාකිස්තානය සමඟ පැවැති අතර එම තරගයෙන් ලකුණු 33ක පරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙනවා. අනතුරු ව පැවැති බංග්ලාදේශය හා සමඟ තරගය ලකුණු 64කින් ජයග්‍රහණය කරන ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරියට පිවිසීමේ අවස්ථාව නැවත උදා කර ගන්නවා. ඒ, ඒ වෙද්දී ඔස්ට්‍රේලියාව ද පාකිස්තානයට පරාජය වී බංග්ලාදේශ තරගය පමණක් ජයග්‍රහණය කර තිබිම හේතුවෙනුයි.

ඒ අනුව දෙරටේ ක්‍රීඩකයෝ මෙම තරගයට පිවිසෙන්නේ ගල උඩ සටන වැනි තරගයකටයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානුවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කරනවා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නොසිතූ අකරතැබ්බයකටයි මුහුණ දෙන්නට සිදු වෙන්නේ.

තරගයේ තෙවැනි පන්දුවේ දී ම පළමු කඩුල්ල ලබා ගත් ඔස්ට්‍රේලියානුවෝ ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 7 ලකුණු 43ක් වෙද්දී දවා ගැනීමට සමත් වූවා. සනත් ජයසූරිය (0-2b), උපුල් තරංග (4-8 b), මහේල ජයවර්ධන (1- 2b), චාමර සිල්වා (6-11 b), තිලකරත්න ඩිල්ශාන් (3-5b), කුමර් සංගක්කාර (22-23b) සහ ෆර්වීස් මහරූෆ් (0-2b) ඒ වෙද්දී ඔවුන්ගේ ගොදුරු බවට පත් ව තිබුණා.

අනතුරු 7 වැනි කඩුල්ල සඳහා එක් වූ ජෙහාන් මුබාරක් සහ චමින්ද වාස් 8 වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100ක් ආසන්නයට ගෙන ආවා.

ජෙහාන් මුබාරක් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28කට 8 වැනි කඩුල්ලට දැවී යන්නේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින්. ඊට පසු කඩුල්ල ලෙසින් චමින්ද වාස් දැවී යන විට ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

අනතුරු ව දිල්හාර ප්‍රනාන්දු (0-2b) අවසන් කඩුල්ලට දැවී යද්දී අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැදී සිටි ලසිත් මාලිංග පන්දු 10කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.

අතිරේක ලකුණු 4ක් ද සමඟින් පන්දු වාර 19.3ක දී අවසන් වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 101කට සීමා වුනා.

එම ඉනිම අමාරුවේ දැමීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Stuart Clark ලකුණු 20කට කඩුලු 4ක් දවා ගන්නා ලද එය ඔහුගේ තරග 9ක් වන විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූ අතර ඒ වෙනුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානුවෝ එම ඉලක්කය පන්දු 63කින් සපුරා ගන්නේ ශ්‍රී ලාංකිකයන්ට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඉඩ නොතබමින්.

එහි දී Matthew Hayden පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ Adam Gilchrist පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ද ලබා සිටියා.

පන්දු යැවීමේ දී ෆර්වීස් මහරූෆ් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 2කට ලකුණු 34ක් ලෙසයි.

තරගාවලිය ආරම්භයේ දී විචාරකයන්ගේ නොමද පැසසුමට ලක් ව සිටි ශ්‍රී ලංකාව ඔවුන්ව ද පුදුමයට පත් කරමින් තරගය එලෙස අවසන් කරන්නේ ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසිමට ද දොරටු විවර කරමිනුයි.

Upset – 2

අවසන් මහා තරගය (රාත්‍රී), කොළඹ, ඔක්තෝබර් 07, 2012

එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සපිරි රාත්‍රියක් බවට පත් ව තිබෙන්නට ඇති. එබැවින් ම දෝ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් පැවැති ඒ අවසන් මහා තරගය පැවැති රාත්‍රියේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී යන්නේ.

ඒ බලාපොරොත්තු සහගත රාත්‍රියේ ශ්‍රී ලංකාවේ පළමු පරාජය කාසියේ වාසියයි. රාත්‍රියේ පැවැතෙන තරගයක දී පළමුවෙන් පන්දුවට පහර දීමට වඩාත් උචිත යැයි බොහෝ කණ්ඩායම්වල තීරණය වී ඇත්තේ, හඹායන ඉනිමේ දී ක්‍රීඩාංගණයට පතිතවන පින්න තම කණ්ඩායමට අවාසිදායක යැයි පැවැසෙන බැවිනුයි. ඒ අනුව ම යමින් ප්‍රතිවාදී නායකයා විසින් දිනා ගත් කාසියේ වාසිය තමන් ගේ උරුමයක් කර ගනිමින් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

නමුත් ඔවුන්ගේ එම තීරණය පළමු Power Play අවස්ථාවේ දී අභියෝගයකට ලක් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවා. ඔවුන් එම පන්දු වාර 6 දී ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට දුන්නේ ලකුණු 14ක් පමණක් වන අතර කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වුනා.

ඒ වෙද්දී කොදෙව් ඉනිමේ ප්‍රබල පිතිකරුවන් ලෙසින් හැඳින් වූ Johnson Charles (0-5b) සහ Chris Gayle (3-16b) ක්‍රීඩාගාරයේ විවේක ගැන්වී තිබුණා.

එතැන් සිට ලකුණු කෙසේ වෙතත් කඩුලු ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදයකට කොදෙව්වෝ නිරත වී සිටියා. ඊට පෙරමුණ ගත්තේ Marlon Samuels සහ Dwayne Bravo යි.

ඒ අනුව ගිය ඔවුන්ගේ ඉනිමේ පන්දු වාර 10ක් නිමා වෙද්දී ද ලකුණු පුවරුවේ රැදී තිබුණේ ලකුණු 32ක් පමණයි.

එම අවස්ථාවේ දී ඔවුන් කෙතරම් සීරුමාරුවට පිතිකරණයේ නිරත වූවා ද කියතොත්, ඉනිමේ 19 වැනි පන්දුවේ දී එල්ල කළ හතරේ පහරට පසුව නැවත සීමා ලකුණක් වාර්තා කිරීමට තවත් පන්දු 49 වැය කරනවා.

කොදෙව්වෝ මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ Marlon Samuels ගේ ප්‍රවේගවත් පිති හරඹය හේතුවෙනුයි. එහි දී ඔහුගේ ප්‍රහාරයන්ට වැඩියෙන් ම ලක් වෙන්නේ ලසිත් මාලිංග යි. ඔහු විසින් යැවූ ඉනිමේ 11 වැනි සහ 17 වැනි පන්දු වාරයන්වල දී හයේ පහර 5ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.

Marlon Samuels ගේ ඉනිම අවසන් වන විට පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා. ඔහුගේ ඉනිමේ වූ හයේ පහර 6 ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයක දී එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වූවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිට පිට පන්දු 2ක දී කඩුලු 2ක් දවා ගත් අජන්ත මෙන්ඩිස් නැවත කොදෙව් ඉනිම පාලනය කිරිමට පෙරමුණ ගත්තා. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 87කට කඩුලු 5ක් ලෙසයි.

නමුත් එම අවස්ථාවේ වගකීම් කරට ගත් නායක Daren Sammy ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වෙමින් Denesh Ramdin (4-4b) සමඟ 7 වැනි කඩුල්ලට එක් වෙමින් ඉනිමේ අවසන් පන්දු 17 දී ලකුණු 29ක් කොදෙව් ඉනිමට එක් කළා.

ඔහු ඉනිම අවසන් වෙද්දී පන්දු 15ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

ඒ අනුව කොදෙව් ඉනිමේ අවසානය කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලෙසයි. කඩුලු දවා ගැනීමේ අජන්ත මෙන්ඩිස් ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් සහ අකිල ධනංජය කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 6 දී දවා ගැනීමට කොදෙවෝ සමත් වූව ද දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට නායක මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සමත් වුනා.

කුමාර් සංගක්කර පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33කට දැවී ගියා.

මේ කඩා වැටීමත් සමග වරෙක ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 69ක් ලෙසිනුයි. කෙසේ වෙතත් වැටී සිටි එම තත්ත්වයෙන් තම කණ්ඩායම තරමක් ගොඩ දැමීමට වේග පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක් වූ නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් එක් කරන්නේ පන්දු 13ක් පමණක් වැය කරමිනුයි. එහි දී වැඩි දායකත්වයක් නුවන් කුලසේකර විසින් දැරූ අතර ඔහු හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් පන්දු 13කට මුහුණ දෙමින් ලකුණු 26ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් 8 දෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව තිලකරත්න ඩිල්ශාන් (0-3b), ඇන්ජලෝ මැතිව්ස් (1-5b), ජීවන් මෙන්ඩිස් (3-3b), තිසර පෙරේරා (3-5b), ලහිරු තිරිමාන්න (4-7b), ලසිත් මාලිංග (5-13b), අජන්ත මෙන්ඩිස් (1-2b) සහ අකිල ධනංජය (0-0b) මේ ගොඩට එක් වුනා.

කඩුලු දවා ගැනීමේ දී Sunil Narine ලකුණු 9කට කඩුලු 3ක් ද සහ Daren Sammy ලකුණු 6කට කඩුලු 2ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී ලකුණු 101කට සියලුම දෙනා දැවී යන්නේ අවසන් මහා තරගයක දී මෙතෙක් අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම ලෙසින් ද ඉතිහාසයට එක් වෙමිනුයි.   

Upset 3

1 වැනි තරගය, පළමු වටය, A කාණ්ඩය (දිවා/රාත්‍රී), Geelong, ඔක්තෝබර් 16, 2022

එය 8 වැනි හෙවත් නිමා වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ නැමීබියා කණ්ඩායමේ 2 වැනි ලෝක කුසලාන සංචාරයයි.

ඔවුන් මෙම ලෝක කුසලානයට එක් වෙන්නේ නිමා වූ තරගාවලියේ දී පළමු කණ්ඩායම් 12 අතරට පිවිසීමට සමත් වීම හේතුවෙන්. ලෝක කුසලානයට එක් වෙද්දී ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි රටක් වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 3-2ක ජයග්‍රහණයක් ලබා ගනිමින් යහපත් මානසිකත්වයකින් පසු වූවා.

එම තරග ජයග්‍රහණයෙන් මාස 5කට පසුවයි ශ්‍රී ලංකාව මේ තීරණාත්මක තරගයට පිවිසෙන්නේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමු වෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී නැමීබියාවට ආරාධනා කරන්නේ පන්දු යවන්නන් කෙරෙහි පැවැති දැඩි විශ්වාසයකින් යුක්තවයි.

ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකාව පළමු Power Play වාරය තුළ ප්‍රතිවාදී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙනවා. නමුත් ඒ වෙද්දී නැමීබියාව ලකුණු 43ක් ලබා ගනිමින් පන්දු වාරයකට 7.16ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන තිබුණා.

එම තත්ත්වය දිගින් දිගට ම රඳවා ගැනීමට සමත් වූ නැමීබියාව තම ඉනිම අවසන් කරනනේ කඩුලු 7කට ලකුණු 163ක් ලබා ගනිමින්. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 28ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්  Jan Frylinck. ඔහු Jonathan Smit සමඟ 8 වැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා. ඒ සඳහා ඔවුන් වැය කරන්නේ පන්දු 34ක් පමණයි.

ඔවුන් දෙදෙනා විසින් අවසන් පන්දුවාර 3 දී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුන අතර ඉනිම අවසන් වන විට Jan Frylinck පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ (1/23), වනිඳු හසරංග (1/27), චාමික කරුණාරත්න (1/36) සහ දුෂ්මන්ත චමීර (1/39) ලෙසින් පන්දු යැවීම අවසන් කර තිබුණා.

ඒ අනුව නැමීබියා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 163කට සීමා වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ද පළමු Power Play වාරය තුළ දවා ගැනීමට නැමීබියා පන්දු යවන්නෝ සමත් වූවා. ඒ වෙද්දී කුසල් මෙන්ඩිස් (6-6b), පැතුම් නිස්සංක (9-10b) සහ ධනුශ්ක ගුණතිලක (0-1b) තම ඉනිම් අඩු ලකුණුවලට සීමා කරගෙන තිබුණා.

ඉනිමේ සිවු වැනි කඩුල්ල ලෙසින් ධනංජය ද සිල්වා (12-11b) ද ලකුණු පුවරුව ලකුණු 40ක් ව තිබිය දැවී ගියා.

කණ්ඩායමේ මේ කඩා වැටීම හමුවේ ඉදිරි පෙළ පිතිකරුවන් අතුරින් යම් තරමකින් හෝ සාර්ථක වූයේ භානුක රාජපක්ෂ (20-21b) සහ දසුන් ශානක (29-23b) පමණයි. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 34ක සබඳතාවක් එක් කළා.

අනෙකුත් පිතිකරුවන් වූ වනිඳු හසරංග (4-8b), ප්‍රමෝද් මධුශාන් (0-0b), චාමික කරුණාරත්න (5-8b), දුෂ්මන්ත චමීර (8-15b) සහ මහීෂ් තීක්ෂන (11*-11b) ගේ ඉනිම් ද අඩු ලකුණුවලට සීමා වූවා.

ඒ අනුව තවත් පන්දු වාරයක් ඉතිරි ව තිබිය දී අතිරේක ලකුණු 4ක් ද සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 108ක් පමණක් වන අතර ඒ සමඟින් ම නැමීබියාවට ලකුණු 55ක ජයග්‍රහණයක් හිමි වූවා.

එය නැමීබියාව ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරග ඉතිහාසයක දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටක් පරාජය කළ පළමු අවස්ථාව වූ අතර එම තරගාවලියේ දී ඔවුන් ලත් එක ම ජයග්‍රහණය ද වූවා.

මෙම තරග පරාජය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව,  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොලත් රටකට පරාජය වූ පළමු අවස්ථාව ද වුනා.

 ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<