ලෝක කුසලානයේ අභියෝගාත්මක ක්‍රීඩකයෝ

ICC Men's T20 World Cup

101

9 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය උණුසුම මේ වෙද්දී උන්මාදයක් වී අවසන්. රටවල් විස්සක්, තරග 55ක දී එක් කුසලානයක් වෙනුවෙන් කෙරෙන මේ සංග්‍රාමයේ දී විශේෂ අවධානයට ලක් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද සිටිනවා.  

මේ ThePapare.com ඔවුන් සම්බන්ධයෙන් කෙරෙන සොයා බැලීමක්.., 

Virat Kohli  

35 හැවිරිදි වියේ පසුවෙන Virat Kohli විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් වැජඹෙමින් මෙවර තරගාවලියේ දී ද වැඩි යමක් කරනු ලබන පිතිකරුවන් අතර පෙරමුණ ගනිතැයි සිතිය හැකි ක්‍රීඩකයෙක්.  

අවසන් ලෝක කුසලාන තරගාවලියේ දී ද වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් Virat Kohli මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන තරග 27කට ක්‍රීඩා කරමින් ඉනිම 25ක දී අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 1141ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 81.50ක්.  

පසුගියදා නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Royal Challengers Bengaluru කණ්ඩායම නියෝජනය කළ Virat Kohli මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමට ද සමත් වූවා. ඔහු තරග 15ක දී නොදැවී ලබා ගත් ශතකයක් සමඟින් අර්ධ ශතක 5ක් එකතුව ලකුණු 741ක් ලබා ගන්නවා. එහි තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 61.75ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙනවා. 

මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 117කට ක්‍රීඩා කර ඇති Virat Kohli ශතකයක් සහ අර්ධ ශතක 37ක් සමඟින් ලකුණු 4037ක් ලබා සිටිනවා.  

Babar Azam 

29 හැවිරිදි වියේ පසුවෙන පාකිස්තානයේ දකුණත් ඉදිරි පෙළ පිතිකරු නායක Babar Azam මෙවර තරගාවලියේ දී පිතිකරුවන් අතුරින් වැඩි දක්ෂතා දක්වතැයි බලාපොරොත්තු විය හැකියි. ඔහු තමන් මුහුණ දුන් ආසන්නත ම තරග 5 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 200ක් ලබා ගන්නා ලද අතර ඔහු එම දක්ෂතාව සිදු කරන්නේ තරගයක සාමාන්‍ය 40.0ක් සේ රඳවා ගනිමිනුයි.  

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 119ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 36ක් සමඟින් ලකුණු 4023ක් ලබා සිටින ඔහුගේ එම තරග දක්ෂතා ලැයිස්තුවේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග 13ක ලකුණු 427ක් ද ඇතුලත්.   

විස්සයි විස්ස පිටියේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහි ව 2021 වසරේ දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 122යි. ඊට අමතර ව එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 110ක් ද සහ නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 101ක් ද ලබා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.  

Nicholas Pooran 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන Nicholas Pooran විස්සයි විස්ස තරග පිටියේ කැපී පෙණෙන යොවුන් ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා. මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 88කට ක්‍රීඩා කර ඇති Nicholas Pooran අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1848ක් ලබා තිබෙනවා.  

නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Lucknow Super Giants කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 14කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 499ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.  

ලෝක කුසලාන තරග වාර 2ක දී ඔහුට ලබා ගැනීමට හැකිව ඇත්තේ තරග 8ක දී ලකුණු 128ක් පමණයි.   

කෙසේ වෙතත් ඔහුගේ අවසන් විස්සයි විස්ස ඉනිම් 5 තුළ පිට පිට ලබා ගත් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 269ක් තිබෙනවා. එහි සාමාන්‍ය 67.25ක් ලෙසින් පවත්වා ගැනීමට ද ඔහු සමත් වෙනවා.  

Pat Cummins 

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩකයන් අතුරින් වඩාත් කැපී පෙණෙන දක්ෂතා දක්වතැයි සිතන පන්දු යවන්නන් අතර 31 වැනි වියේ පසුවෙන ඔස්ට්‍රේලියාවේ දකුණතින් වේග පන්දු යවන Pat Cummins හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.  

ඔහු ඊට සුදුසුකම් සපුරාලන්නේ නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කරමින් තරග 16ක දී කඩුලු 18ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතාවයි.  

මේ වෙද්දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 52කට ක්‍රීඩා කර ඇති Pat Cummins කඩුලු 57ක් ලබා ගෙන ඇති අතර ඒ අතර ලෝක කුසලාන තරග 17ක දී ලබා ගත් කඩුලු 14ක් ද ඇතුලත් වෙනවා.    

 Phil Salt 

එංගලන්ත කණ්ඩායමේ 27 හැවිරිදි වියේ පසුවෙන දකුණත් ආරම්භක පිතිකරු Phil Salt කෙරෙහි ද මෙවර බොහෝ දෙනෙක් ගේ අවධානය යොමු ව තිබෙනවා. ඊට වඩාත් ම හේතු වන්නේ පසුගියදා නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු පෑ දක්ෂතායි.  

ජයග්‍රාහී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කළ Phil Salt තරගාවලිය නිමා කරන්නේ තරග 12ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 239ක් ලබා ගනිමිනුයි.  

නිමා වූ වසරේ දෙසැම්බර් මාසයේ දී බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහි ව පිට පිට ශතක 2ක් වාර්තා කරමින් විස්සයි විස්ස පිටියේ එවන් දක්ෂතාවක් කළ පළමු ක්‍රීඩකයා බවට පත් Phil Salt විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 23කට සහභාගී වෙමින් ඉනිම 22ක දී මෙතෙක් ලකුණු 697ක් ලබා සිටිනවා.  

ඔහුගේ තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණ සංඛ්‍යාව 119ක් වන අතර එය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කඩුලු රකින්න ක්‍රීඩකයෙක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද පවතිනවා.   

ඔහු නිමා වූ 2022 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමේ ද අසුනක් හිමි කර ගැනීමට සමත් ව තිබුණා.  

Jos Buttler 

එංගලන්ත කණ්ඩායමේ නායක 33 හැවිරිදි වියේ පසුවෙන Jos Buttler මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශතක 2ක් රැස් කළ එක ම ක්‍රීඩකයා වීමත් සමඟින් ඔහු කෙරෙහි තැබෙන විශ්වාසය ද දැඩි වූවා. එම තරගාවලියේ දී Rajasthan Royals කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 359ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 39.88ක් ලෙසින් පවත්වා ගැනීමට ද සමත් වූවා.   

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 116කට ක්‍රීඩා කර ඇති Jos Buttler ශතකයක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 3050ක් ලබා සිටිනවා. නිමා වූ ලෝක කුසලාන තරග 27ක ඔහුගේ දක්ෂතාව ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 799ක්.  

Heinrich Klaasen 

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකාවේ Heinrich Klaasen එම තරගාවලියත් සමඟින් වඩාත් කතා බහට ලක් වූ චරිතයක්.  

ඔහු නිමා වූ එම තරගාවලියේ දී තරග 16කට සහභාගී වෙමින් ඉනිම් 15ක දී අර්ධ ශතක 4ක් සමඟන් ලකුණු 479ක් ලබා ගනිමින් දක්ෂතා දක්වන්නේ එහි තරගයක සාමාන්‍ය 39.91ක් ලෙසින් ද පවත්වා ගනිමිනුයි.   

මේ දක්ෂතාත් සමඟින් ඔහු මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ද තම කණ්ඩායම වෙනුවෙන් ද යමක් කරතැයි බලාපොරොත්තු තැබෙනවා. කෙසේ වෙතත් ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 43කට සහභාගී වෙමින් මෙතෙක් ලබා ඇත්තේ ලකුණු 722ක් පමණයි.  

Wanindu Hasaranga 

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ගේ නම ද මෙවර තරගාවලියේ දක්ෂතා දක්වතැයි අනුමාන ක්‍රීඩකයන් අතර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65කට ක්‍රීඩා කර ඇති වනිඳු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 104ක් වන අතර අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 650ක් ද ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.  

පා දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන වනිඳු නිමා වූ ආසන්නත ම තරගාවලි ද්විත්වයේ දී වැඩිම කඩුලුලාභියා ලෙසින් ඉතිහාසයට එක් වූවා. එමෙන් ම 2012 වසරේ දී පැවැති 7 වැනි ලෝක කුසලානයේ දී කඩුලු 16ක් ලබා ගන්නා වනිඳු ලෝක කුසලාන එක් තරගාවලියක දී වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ලෙසින් ද ගෞරවයට ලක් ව සිටිනවා.  

මේ දක්වා ඔහු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි 2කට සහභාගී වෙමින් තරග 16ක දී කඩුලු 31ක් ලබා තිබෙනවා.  

මෑත කාලයේ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණි වනිඳු තමන් මුහුණ දුන් අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 4 දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 117ක් ලබා ගන්නවා.   

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී 1 වැනි ස්ථානයත්, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී 2 වැනි ස්ථානය හිමි කර ගැනීමට ද වනිඳු සමත් වීම හේතුවෙන් ඔහු කෙරෙහි වන විශ්වාසය තවත් වැඩි වී තිබෙනවා.    

Jasprit Bumrah 

ඉන්දියාවේ දකුණතින් වේග පන්දු යවන Jasprit Bumrah ද නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියත් සමඟින් වඩාත් කතා බහට ලක් වූ චරිතයක්. Mumbai Indians කණ්ඩායම නියෝජනය කළ ඔහු මෙවර තරගාවලියේ දී තරග 13ක දී කඩුලු 20ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ තරග 62කට සහභාගී වි ඇති Jasprit Bumrah කඩුලු 74ක් ලබා සිටින අතර ලෝක කුසලාන තරගවල දී ඔහුගේ දක්ෂතාව වන්නේ තරග 10ක දී කඩුලු 11ක්.  

Mitchell Starc 

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වමතින් වේග පන්දු යවන 34 හැවිරිදි වියේ පසුවෙන Mitchell Starc ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී වඩාත් කතා බහට ලක් වෙන පන්දු යවන්නෙක් ලෙසින් දැක් විය හැකියි.  

ටෙස්ට් තරග පිටියේ ලකුණු 1000ක් සහ කඩුලු 100ක් ලබා ඇති Mitchell Starc විස්සයි විස්ස තරග පිටියේ දී තරග 60කට සහභාගී වෙමින් කඩුලු 74ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Kolkata Knight Riders කණ්ඩායම නියෝජනය කළ ඔහු එහි දී තරග 14කට ක්‍රීඩා කරමින් කඩුලු 17ක් ලබා ගන්නා ලද අතර ලෝක කුසලාන තරග 20කට සහභාගී වෙමින් සතු කර ගත් කඩුලු සංඛ්‍යාව 27ක්.  

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<