විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය

145

2005 වසරේ පෙබරවාරි මස 17 වැනිදා නවසීලන්තයේ Auckland හී Eden Park ක්‍රීඩාංගණයේ දී ලෝකයේ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වෙනවා. ඉනික්ඹිති ව ගෙවි ගිය 2 වැනි වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උපත ද සිදු වෙනවා.  

මෙවර ජුනි මස 02 වැනිදා සිට ජුනි මස 29 වැනිදා දක්වා ඇමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් හි දී දිග ඇරෙන්නේ එහි 9 වැනි වෙළුමයි.  

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආරම්භයෙන් අනතුරුව තරගාවලි 15ක තරග 22ක් ඇවෑමෙන් ආරම්භ වන ලෝක කුසලාන ඉතිහාස කතාව මෙලෙස ThePaapare.com මත ඇතිරීමට අප උත්සාහ කළා.  

මේ එහි පළමු වැන්නයි.  

1 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2007 සැප්තැම්බර් 11 සිට 24 දක්වා, දකුණු අප්‍රිකාව 

විස්සයි විස්ස ලෝක කුසලාන මංගල තරගාවලියේ සත්කාරකයන් වීමට දකුණු අප්‍රිකාව සමත් වෙන අතර ඒ සඳහා රටවල් 12ක කණ්ඩායම් එකතු වෙනවා. 

එවකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 10 සමඟ 2007 ICC World Cricket League Division One තරගාවලියේ ජයග්‍රාහයකන් වු කෙන්යාව සහ ස්කොට්ලන්තයට ද මෙම තරගාවලියට එකතු කර තිබුණා. 

තරගාවලිය සඳහා එක් වූ රටවල් 

  • A කාණ්ඩය – දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්. 
  • B කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ සිම්බාබ්වේ. 
  • C කාණ්ඩය – ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ කෙන්යාව. 
  • D කාණ්ඩය – ඉන්දියාව, පාකිස්තානය සහ ස්කොට්ලන්තය. 

තරගාවලිය තරග 27කින් සමන්විත වූ අතර එහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අසල්වැසි රටවල් වූ ඉන්දියාව සහ පාකිස්තානයයි. අවසන් මහා තරගය පැවැත්වීමට පෙර හරියට ම දින 10කට පෙර දෙරටේ ක්‍රීඩකයෝ පළමු වටයේ දී ද හමු වූ අතර එම තරගය ලකුණු සම වීමෙන් අවසන් වීම විශේෂත්වයක් වූවා.  

එය ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු සම වීමෙන් අවසන් වූ පළමු තරගයයි. කෙසේ වෙතත් තරගාවලිය අවසන් වෙන්නේ ඉන්දියාවට ශූරතාව හිමිකර දෙමින්. අවසන් මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.  

  • තරගාවලියේ වීරයා – Shahid Afridi (පාකිස්තානය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – Matthew Hayden (265 – ඔස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභියා– Umar Gul (13 – පාකිස්තානය)

මෙම තරගාවලියේ මංගල තරගයේ දී ම ලෝක විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ මංගල ශතකය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Chris Gayle සමත් වෙනවා. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 117ක් ලබා ගනිමින් එකී නොබිඳෙන වාර්තාවට හිමිකම් කියනවා. 

එමෙන් ම ලෝක කුසලාන විස්සයි විස්ස තරග පිටියේ අර්ධ ශතකයකින් තම ඉනිම නිමා කර ගත් පළමු වැන්නා බවට පත් වීමට දකුණු අප්‍රිකාවේ Herschelle Gibbs සමත් වෙනවා. ඔහු එම තරගයේ ම පිළිතුරු ඉනිමේ දී පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තා.  

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව C කාණ්ඩයෙන් එක් වූ අතර ඔවුන්ගේ ගමන සුපිරි 8 වටයෙන් අවසන් වෙන්නේ ලෝක කුසලානයට එක් වූ කණ්ඩායම් අතුරින් 6 වැනි ස්ථානයට පත් වෙමිනුයි.  

එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව විසින් කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ගන්නා ලද අතර එය එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබෙනවා.  

2 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2009 ජුනි 05 සිට 21 දක්වා, එංගලන්තය 

වසර 2කට පසුව පැවැති මෙම තරගාවලිය සඳහා ද පෙර තරගාවලියේ දී සේ ම රටවල් 12ක සහභාගීත්වය ලබා ගන්නවා. සුපුරුදු පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් සඳහා තරගාවලියට සෘජුව එක් වීමට වරම් ලැබූව ද මේ වන විට සිම්බාබ්වේ දේශයේ පැවැති දේශපාලනමය කැළඹීම මත ඔවුන්ට ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිමි ව තිබූ අසුන අහිමි ව තිබුණා.  

එබැවින් මෙම තරගාවලියේ දී ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සම ශූරතා දිනා ගත් අයර්ලන්තය සහ නෙදර්ලන්තය පළමු වරට ලෝක කුසලානය සඳහා එක් වීමට සුදුසුකම් ලබා ගන්නවා. 

ඊට අමතර ව එම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් ස්කොට්ලන්තය ද මෙම තරගාවලිය හා එක් කර ගන්නා ලද අතර පෙර තරගාවලියට එක් වූ කෙන්යාව තරගාවලියෙන් ඉවතට වීසි වීමට සිදු වෙනවා. 

තරගාවලිය සඳහා එක් වූ රටවල් 

  • A කාණ්ඩය – ඉන්දියාව, බංග්ලාදේශය සහ අයර්ලන්තය. 
  • B කාණ්ඩය – පාකිස්තානය, එංගලන්තය සහ නෙදර්ලන්තය. 
  • C කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්. 
  • D කාණ්ඩය – නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය. 

මෙවර තරගාවලිය ද තරග 27කින් සමන්විත වූ අතර තරගාවලියේ අවසන් මහා තරගය නියෝජනය කිරීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. ඒ ආ ගමනේ දී ශ්‍රී ලංකාව අපරාජිතව මෙම කඩඉම සඳහා පිවිසීට සමත් වූවා.  

අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පාකිස්තානය පළමු වටයේ දී එංගලන්තය හමුවේ ලකුණු 48ක පරාජයක් ද සහ සුපිරි 8 වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 19ක පරාජයක් ද ලබමිනුයි මෙම කඩඉම සඳහා පිවිසියේ.  

අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාව, බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 57ක් ජයග්‍රහණයක් වාර්තා කරමින් ද සහ පාකිස්තානය, දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.  

දෙරට අතර පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තානය කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරමින් ශූරතාව දිනා ගන්නා ලද අතර ශ්‍රී ලංකාවට අනුශූරතාවෙන් සෑහීමකට පත් විම සිදු වූවා.  

  • තරගාවලියේ වීරයා – තිලකරත්න ඩිල්ශාන් (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – තිලකරත්න ඩිල්ශාන් (317 – ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභියා- Umar Gul (13 – පාකිස්තානය)

මෙම තරගාවලියේ  පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැති තරගයේ දී පාකිස්තානයේ දකුණිතින් මඳ වේග පන්දු යැවූ Umar Gul විසින් නවසීලන්ත පිතිකරුවන් 5 දෙනෙක් ලකුණු 06ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට සමත් වෙනවා. එය ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙක් කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව බවට පත් වූවා සේ ම ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම දක්ෂතාව මෙන් ම පාකිස්තාන පන්දු යවන්නෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව ද බවට ද පත් වූවා. 

3 වැනි විස්සයි විස්ස ලෝක කුසලානය, 2010 අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා, බටහිර ඉන්දීය කොදෙව් 

ජාත්‍යන්තර ක්‍රිකට් කැලැන්ඩරයේ තරගාවලි කිහිපයක් ම විවිධ හේතු මත අවලංගු වෙද්දී, 2 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වී මාස 10ක් ඉක් ම ගිය තැන මෙම තරගාවලිය පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරනවා.  

මෙම තරගාවලිය වෙද්දී නැවත වතාවක් සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දොරටු විවර වී තිබූ බැවින් ඔවුන් ද සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය රටවල් 10 සුපුරුදු පරිදි සෘජුව ම තරගාවලියට එක් වෙනවා. ඊට අමතර ව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් වූ ඇෆ්ගනිස්තානය සහ අනුශූරයන් වු අයර්ලන්තය ද මෙම තරගාවලිය හා එක් වෙනවා.   

ඒ අනුව පෙර තරගාවලියට එක් වූ නෙදර්ලන්තයට සහ ස්කොට්ලන්තයට මෙවර තරගාවලියේ නියෝජනය අහිමි වෙනවා.  

තරගාවලිය සඳහා එක් වූ රටවල් 

  • A කාණ්ඩය – පාකිස්තානය, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව. 
  • B කාණ්ඩය – ශ්‍රී ලංකාව, නවසීලන්තය, සිම්බාබ්වේ. 
  • C කාණ්ඩය – දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තාන. 
  • D කාණ්ඩය – බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, අයර්ලන්තය. 

සුපුරුදු පරිදි ම තරග 27කින් යුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පළමු වරට සුදුසුකම් ලබා ගන්නවා. එය ලෝක කුසලාන ඉතිහාසයේ ආසියාවෙන් පිටත රටවල් 2ක් අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාවයි.  

දෙරට අතර පැවැති අවසන් මහා තරගයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වෙනවා. එය එංගලන්තය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවයි. 

  • තරගාවලියේ වීරයා – Kevin Pietersen (එංගලන්තය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – මහේල ජයවර්ධන (302 – ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභියා- Dirk Nannes (14 – ඔස්ට්‍රේලියාව)

මෙම තරගාවලියේ පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයේ දී පාකිස්තානයේ වමතින් මඳ වේග පන්දු යැවූ Mohammad Amir විසින් යවනු ලැබූ අවසන් පන්දු වාරයේ දී කිසිදු ලකුණක් ලබා නොදෙමින් ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. එය එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ එක් පන්දු වාරයක දී ලකුණු නොදෙමින් දැවී ගිය වැඩිම කඩුලු ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ.   

එම පන්දු වාරයේ පළමු පන්දු 2 දී සහ අවසන් පන්දුවේ දී Mohammad Amirට හිමි වෙන සේ කඩුලු දැවී ගිය අතර තෙවැනි සහ සිවු වැනි පන්දුවල දී දුවද්දී දැවී යෑම් 2ක් වාර්තා වුනා. 5 වැනි පන්දුව යැවෙන්නේ නිලකුණු පන්දුවක් සේ යි.  

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේ සහභාගී වන අතර එහි දී ඔවුන්ගේ ගමන නිමා වෙන්නේ අවසන් පූර්ව වටයෙනුයි. එංගලන්තය හා සමඟ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7කින් පරාජය කරමින් තෙවැනි ලෝක කුසලානයේ ශූරතාව දක්වා යෑමට ද ඔවුන් සමත් වෙනවා.  

4 වැනි විස්සයි විස්ස ලෝක කුසලානය, 2012 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 07 දක්වා, ශ්‍රී ලංකාව 

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ආසියානු රටක් පළමු වරට සත්කාරකත්වය දැරූ අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වෙනවා.  

තරගාවලිය මෙවර ද කණ්ඩායම් 12කගේ සහභාගීත්වයෙන් පැවැති අතර සුපුරුදු ලෙසින් ම ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් 10 ට අමතර ව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරයන් වූ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය, මෙවර ද ඊට ඇතුලත් වුනා.   

තරගාවලිය සඳහා එක් වූ රටවල් 

  • A කාණ්ඩය – එංගලන්තය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය. 
  • B කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය. 
  • C කාණ්ඩය – ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ. 
  • D කාණ්ඩය – පාකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය. 

තරගාවලිය සුපුරුදු ලෙසින් ම තරග 27කින් සමන්විත වූ අතර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූවා.  

මෙම තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ තරගාවලියට එක් වෙන අතර තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී පාකිස්තානය ලකුණු 16කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. නමුත් එම තරගයේ ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ ලකුණු 36ක පරාජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකාවට සිදු වූවා.  

එම තරග පරාජයත් සමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 2ක දී අනුශූරයන් බවට පත් පළමු කණ්ඩායමක් බවට ශ්‍රී ලංකාව පත් වූවා.  

  • තරගාවලියේ වීරයා – Shane Watson (ඔස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – Shane Watson (249 – ඔස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභියා- අජන්ත මෙන්ඩිස් (15 – ශ්‍රී ලංකාව)

මෙම තරගාවලියේ දී අජන්ත මෙන්ඩිස් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ලකුණු 08කට කඩුලු 6ක් දවා ගන්නා ලද එය එතෙක් මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට පත් වූවා.  

එමෙන් ම නවසීලන්තයේ Brendon McCullum විසින් බංග්ලාදේශයට එරෙහි ව පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 123ක් ලබා ගන්නා ලද අතර එය මංගල තරගයේ දී Chris Gayle ලබා ගන්නා ලද ලකුණු 117ක් දෙවැනි තැනට පත් කරන ලද ඉනිමක් වුවා.  

එමෙන් ම මෙම තරගාවලියේ දී ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැති තරගයේ දී එංගලන්තය සියලුම දෙනා දැවී ලකුණු 80කට සීමා වෙන අතර එය එංගලන්ත ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූවා.  

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ අනෙකුත් තරගාවලි පිළිබඳ ව තොරතුරු තවත් ලිපියකින් බලාපොරොත්තු වෙන්න.  

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<