Marcus Stoinis ගේ තුන් ඉරියව් දක්ෂතා මුල් කර ගත් ඔස්ට්‍රේලියානුවෝ 9 වැනි ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරග ජය ගැනීමට සමත් වුවා. ඒ ඕමාන් කණ්ඩායම ලකුණු 39ක පරාජයකට පත් කරමිනුයි.
Barbados හී Kensington Oval ක්‍රීඩාංගණයේ දී අද (06) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕමාන් නායකයා ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ ඕමාන් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 125ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 50කට දැවී අසීරු තත්ත්වයක සිටිය දී කණ්ඩායම ගොඩ ගැනීමේ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ David Warner සහ Marcus Stoinis වෙතයි. ඔවුන් දෙදෙනා සිවු වැනි කඩුල්ල සඳහා ලකුණු 102ක සබඳතාවක් ගොඩ නගමින් ප්‍රතිවාදීන්ගේ බල බිඳ දැම්මා.
David Warner පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වූවා. එය ඔහුගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි.
ඔහුට අනගි සහයක් ලබා දුන් Marcus Stoinis ඔස්ට්‍රේලියා ඉනිම අවසන් වන විට තම විස්සයි විස්ස තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 36ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා. ඔහුගේ පෙර විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2022 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව නොදැවී වාර්තා කරන ලද ලකුණු 59යි.
ඔවුන් දෙදෙනාට අමතර ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව යම් තරමකින් හෝ ඉහළ දැමීමට නායක Mitchell Marsh ද දායකත්වය දැක් වූවා. ඔහු ලකුණු 14ක් ලබා ගත්තේ පන්දු 21ක් වැය කරමිනුයි.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Mehran Khan ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත් අතර Kaleemullah සහ Bilal Khan කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්!
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- 2024 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන් ක්‍රීඩකයෝ තම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ayaan Khan. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
ඊට අමතර ව Mehran Khan පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද සහ නායක Aqib Ilyas පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
කඩුලු ලබා ගැනීමේ දී Marcus Stoinis ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව Mitchell Starc, Adam Zampa සහ Nathan Ellis කඩුලු ද්විත්වය බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඔස්ට්‍රේලියාව – කඩුලු 5ක් දැවී 164 (20.0) David Warner 56, Marcus Stoinis නොදැවී 67, Mehran Khan 2/38
ඕමාන් – කඩුලු 9ක් දැවී 125 (20.0) Aqib Ilyas 18, Ayaan Khan 36, Mehran Khan 27, Mitchell Starc 2/20, Nathan Ellis 2/28, Marcus Stoinis 3/19, Adam Zampa 2/24
ඔස්ට්‍රේලියාවට ලකුණු 39ක ජයක්.
- තරගයේ වීරයා – Marcus Stoinis (ඔස්ට්‍රේලියාව)
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<