ඇෆ්ගනිස්තානයට පෙරළිකාර ජයක්

ICC Men's T20 World Cup

470
Australia vs Afghanistan

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවැති ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ දී ප්‍රබල ඔස්ට්‍රේලියාවනුවන්ට එරෙහිව ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගත් ඇෆ්ගනුස්තානුවෝ 1 වැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව තරගකාරී මට්ටමට රැගෙන ඒමට සමත් වූවා. 

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ඇෆ්ගනිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ දොරටුව ආසන්නයේ රැදී සිටින කණ්ඩායමක් බවට පත් වීමට සමත් වීම ද කැපී පෙණුනා. ඒ ඔවුන්ට මෙම කාණ්ඩයේ තවත් ඉතිරිව ඇත්තේ බංග්ලාදේශ තරගය පමණක් වන බැවිනුයි. බංග්ලාදේශය මේ දක්වා සහභාගී වූ තරග ද්විත්වය ම පරාජය වී සිටීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට එම තරගයේ දී යහපත් මානසිකත්වයකින් තරගයට පිවිසීමට හැකියාව පවතිනවා.  

නමුත් ඔස්ට්‍රේලියාවට එසේ නොවේ. ඔවුන්ට ඊළඟ තරගය යෙදී ඇත්තේ ප්‍රබල ඉන්දියානුවන් සමඟයි. ඉන්දියාව මේ දක්වා තමන් සහභාගී වූ තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා බවට පත් ව සිටිනවා. ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාවනුවන්ට එම තරගයේ දී තම උපරිමය යෙදීමට සිදු වෙනවා.  

ඇෆ්ගනිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට තවත් වාසිදායක තත්ත්වයක් වී ඇත්තේ ඔවුන් හා පැවැත්වෙන බංග්ලාදේශය සමඟ තරගය සුපිරි 8 වටයේ අවසන් තරගය ලෙසින් පැවැතීමයි. එබැවින් ඔවුන්ට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ විසඳුම, විසඳාගෙන ම එම තීරණාත්මක තරගයට එක් විය හැකියි.  

ඇෆ්ගනිස්තානය ලැබූ මෙම තරග ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහි ව ඕනෑම මාදිලියක තරගවල දී ලැබූ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූවා. දෙරට ක්‍රීඩකයෝ මීට පෙර එක්දින තරග 4කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට සහභාගී වී ඇති අතර ඒ සෑම තරගයක ම ජයග්‍රාහකයන් වූයේ ඔස්ට්‍රේලියාවයි.  

අද මෙරට වේලාවෙන් පෙරවරුවේ St Vincent හී Arnos Vale ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාවේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි ඇෆ්ගනිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියාවට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 127ක් පමණයි.  

ඇෆ්ගනිස්තාන ඉනිම ආරම්භ කළ Rahmanullah Gurbaz සහ Ibrahim Zadran විසින්  තරගයේ තමන්ට හිමි කෝටාවෙන් හතරෙන් තුනක ප්‍රමාණයක් ම පිතිකරණයේ යෙදෙමින් ලකුණු දඩයමේ යෙදීම කැපී පෙණුනා.  

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ නලලත රැළි නංවමින් ගෙන ගිය එම ඉනිමේ 95 වැනි පන්දුවේ දී Rahmanullah Gurbaz ගේ ඉනිම අවසන් වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 60ක් ලබා සිටියා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 10 වැනි අර්ධ ශතකයයි. 

ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 118ක් සබඳතාවක් එක් කළ අතර එය ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ලේ හොඳම ලකුණු සබඳතා අතර තෙවැනි ස්ථානයට පත් දක්ෂතාව ද වූවා.  

Rahmanullah Gurbaz ගේ දැවී යෑමෙන් අනතුරු ව ඇෆ්ගනිස්තාන ඉනිමට ලකුණු 8ක් එක් වෙද්දී තවත් කඩුලු 3ක් දවා ගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නෝ සමත් වූවා. එම කඩුලු අතර එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ Ibrahim Zadran ගේ ඉනිම ද වූවා. ඔහු 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Pat Cummins ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වෙද්දී, Pat Cummins කඩුලු 2ක් ද සහ Marcus Stoinis කඩුල්ලක් ද දවා ගත්තා.  

ඔස්ට්‍රේලියා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල තෙවැනි පන්දුවේ දී ම දවා ගනිමින් තරගයට තරගවත් ආරම්භයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා. ඉන් නොනැවතුන ඔවුන් පළමු  Power Play අවස්ථාව ලකුණු 33කට සීමා කිරීමට සමත් වෙන්නේ කඩුලු 3ක් ද ඔවුන්ගේ ගිණුමට බැර කර ගනිමිනුයි.  

ඒ අසාර්ථක තත්ත්වයෙන්, ඔස්ට්‍රේලියාව ගලවා ගැනීමේ ගෞරවනීය මෙහෙවරක නිරත වීමට කළ Glenn Maxwell ගේ ඉනිම සුවිශේෂී වූවා. ඔහු පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 112ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 11 වැනි අර්ධ ශතකයයි.  

ඔහුට අමතර ව ඔස්ට්‍රේලියා ඉනිමේ යම් ප්‍රමාණයකට සාර්ථක පිතිකරුවන් වූයේ නායක Mitchell Marsh (12) සහ Marcus Stoinis (11) පමණයි. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු ප්‍රමාණයකට යෑමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.  

ඔස්ට්‍රේලියා කණ්ඩායම එලෙසින් අමාරුවේ දැමීමේ දී වඩාත් වැදගත් මෙහෙවරක නිරත වූයේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Gulbadin Naib. ඔහු තම තරග 71ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා.  

ඊට අමතර ව ආරම්භක පන්දු යැවූ Naveen-ul-Haq ද ලකුණු 20කට කඩුලු 3ක් ද සහ Mohammad Nabi, Azmatullah Omarzai සහ Rashid Khan කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ඇෆ්ගනිස්තානය – කඩුලු 6ක් දැවී 148 (20.0) Rahmanullah Gurbaz 60, Ibrahim Zadran 51, Pat Cummins 3/28, Adam Zampa 2/28 

 

ඔස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 127 (19.2)  Glenn Maxwell 59, Naveen-ul-Haq 3/20, Gulbadin Naib 4/20

 

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ලකුණු 21ක ජයක්.  

  • තරගයේ වීරයා – Gulbadin Naib (ඇෆ්ගනිස්තානය) 

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<