ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගයට පෙර

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

437

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කෙරෙන තීරණාත්මක තරගය හෙට (5) පස්වරු 1.30ට Sydney ක්‍රීඩාංගණයේ දී එංගලන්තය හා සම පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය අද (04) තරග ආරම්භයට පෙර මෙවර ලෝක කුසලාන ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටිමින් මෙම තරගයට පිවිසීමට පිඹුරුපත් සකසමින් සිටිද්දී, ශ්‍රී ලංකාව එහි 4 වැනි ස්ථානයේ සිටිමින් ඊට සූදානම් වෙනවා.

එංගලන්තයට මෙම තරගයේ දී තම ස්ථානය තහවුරු කරගැනීම පමණක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යෑමේ අභියෝගය පැවරී තිබෙනවා.

එබැවින් මෙම ගමනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරි පියවරකට පිවිසීමට නම් මෙම තරගය නියත වශයෙන් ම ජයග්‍රහණය කළ යුතු ම අතර අද පැවැත්වෙන අනෙක් තරගවල විසඳුම් කෙරෙහි ද අවධානයෙන් සිටීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වෙනවා.

මේ වන විට එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානයේ සිටිමින්.

  • එංගලන්ත සංචිතය: Jos Buttler (නායක) Moeen Ali, Harry Brook, Sam Curran, Alex Hales, Chris Jordan, Liam Livingstone, Dawid Malan,  Tymal Mills, Adil Rashid, Phil Salt (කඩුලු රකින්නා) Ben Stokes, David Willey,  Chris Woakes, Mark Wood.
  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ.

එංගලන්තය

එංගලන්තයේ සාර්ථක නායකයන් අතර ඉහළ නමක් දිනා සිටින Jos Buttler, ශ්‍රී ලංකාවට එරෙහිව කබාය පැලඳ කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසෙන්නේ තම 18 වැනි තරගය සඳහායි.

මෙතෙක් නිමා වූ තරග 17න් තරග 9ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු සමත් ව සිටින අතර පරාජිත තරග සංඛ්‍යාව 7ක්. එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වෙනවා.

එංගලන්ත විස්සයි විස්ස ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වී සිටින Buttler එංගලන්ත කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරු බවට ද පත් ව සිටිනවා. මේ දක්වා තරග 100කට මුහුණ දී සිටින Buttler ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2468ක්. ඒ තුළ ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය වසරේ දී සාජා ක්‍රීඩාංගණයේ දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 101ක් ද වෙනවා.

ඔහු මෙවර තරගාවලියේ දී තරග 3කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු ප්‍රමාණය 91ක්. ඊට නවසීලන්තයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතකය ඇතුළත්.

ඔහුට අමතරව එංගලන්ත ලකුණු පුවරුව සුපෝෂණය කිරීමට Alex Hales සහ Dawid Malan ද බලා සිටිනවා. එමෙන් ම වමතින් පිත්ත හසුරුවමින්, දකුණතින් පිට දඟපන්දු යවමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Moeen Ali ද එංගලන්ත ලැයිස්තුවේ අමතක කළ නොහැකි පිතිකරුවන්.

ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකාවට එරෙහි තර්ජනාත්මක පන්දු යැවීමකට අවතීර්ණ වෙතැයි සිතෙන පන්දු යවන්නෝ ද රාශියක් එංගලන්තය සතුයි. ඒ අතරින් වඩාත් දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සැලකෙන්නේ පා දඟපන්දු යවන Adil Rashid.

ඔහු මේ දක්වා එංගලන්තය වෙනුවෙන් තරග 89කට ක්‍රීඩා කරමින් කඩුලු 89ක් ලබා සිටිනවා. එය එංගලන්ත තරග ඉතිහාසයේ කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

නමුත් ඔහුට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් විසින් නිමා කළ තරග 3 දී කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ.

එසේ වූවත් දකුණතින් වේගපන්දු යවන Mark Wood සහ වමතින් වේගපන්දු යවන Sam Curran ඒ අඩුව සපුරාලමින් සිටිනවා. Wood තම තරග දිවියේ තරග 26ක දී කඩුලු 41ක් දවා ගනිමින් ඉතා ශීඝ්‍ර කඩුලු දඩයමක නිරත වෙනවා. Sam මෙතෙක් ලබා ඇති කඩුලු සංඛ්‍යාව තරග 32ක දී කඩුලු 37ක්.

මෙවර ලෝක කුසලානයේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී 5 වැනි ස්ථානය දිනා ගැනීමට ද Sam Curran සමත් වෙනවා. එමෙන් ම මෙතෙක් මෙම ලෝක කුසලානයේ පන්දු යවන්නෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම දක්ෂතාව දක්වා තිබෙන්නේ ද Sam Curran.

ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව Perth ක්‍රීඩාංගණයේ දී ලකුණු 10කට කඩුලු 5ක් දවා ගන්නවා. ඒ සඳහා ඔහු වැය කරන්නේ පන්දු 22ක් පමණයි. එම දක්ෂතාව ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.

එවැනි දක්ෂතාවලින් සමන්විත එංගලන්ත ක්‍රීඩකයෝ නිමා වූ තරග 4න් එකඳු පන්දුවක් හෝ ක්‍රීඩා කර ගත නොහැකිව අතහැර දැමුණ නවසීලන්ත තරගය හැර ක්‍රීඩා කළ තරග ත්‍රිත්වයේ දී ම එක ම කණ්ඩායමක් තරගවලට යොදා ගැනීමට කටයුතු කළා. එබැවින් ඔවුන් මෙම තරගයේ දී ද එම කණ්ඩායම ම පිටියට කැඳවා ගනු ඇතැයි අනුමාන කළ හැකියි.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කළ හැකි යැයි සිතෙන එංගලන්ත කණ්ඩායම: Liam Livingstone, Moeen Ali,  Jos Buttler (නායක) Dawid Malan,  Alex Hales, Harry Brook, Ben Stokes, Sam Curran, Adil Rashid, Chris Woakes, Mark Wood.

ශ්‍රී ලංකාව

මෙතෙක් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු ස්ථාන 10 අතර කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක රැඳී සිටීම තව දුරටත් අපේ පිතිකරුවන් පිළිබඳව විශ්වාසය තැබිය හැකි කාරණයක්. එය තව දුරටත් සනාථ වන්නේ එම ලැයිස්තුවේ එංගලන්තයේ Jos Buttlerට එහි හිමි ව ඇත්තේ 32 වැනි ස්ථානය වන නිසායි.

ඒ කෙසේ වෙතත් ඔවුන්ට අමතර ව භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ නායක දසුන් ශානක වෙතින් වැඩි මෙහෙවරක් මෙම තරගයේ දී බලාපොරොත්තු වෙමු.

පිතිකරුවන් ලෙසින් ඔවුන් කෙරෙහි වැඩි විශ්වාසය තබා ගනිද්දී පන්දු යවන්නන් ලෙසින් තව දුරටත් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කෙරෙහි ම අපට විශ්වාසය තබා ගැනීමට සිදු වෙනවා. මෙවර තරගාවලියේ පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දී තව දුරටත් පළමු ස්ථානය වෙන්කර ගැනීමට වනිඳු හසරංග සමත් ව සිටිනවා.

එසේ වූවත් මෙතෙක් මෙම ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් දිනා සිටි මහීෂ් තීක්ෂණට පෙර තරගයේ දී කඩුලු අතරට පිවිසීමට නොහැකි වීම හේතුවෙන් ස්ථාන කිහිපයකින් පසු බැසීමට සිදුව තිබෙනවා. ඔහුට මේ වන විට එහි හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

ඔවුන් දෙදෙනා සමගින් අනෙකුත් පන්දු යවන්නන්ගේ ද සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩ වඩාත් අවශ්‍ය තරගයක් ලෙසින් මෙම තරගය හැඳින්විය හැකියි.

එමෙන් ම ලෝක කුසලාන ක්‍රීඩකයන් ලැයිස්තු ගත කිරීම් අතර උඩ පන්දු රැකගත් ක්‍රීඩකයන් අතරින් තවමත් දසුන් ශානක පළමු ස්ථානය රැක ගැනීමට සමත් ව සිටිනවා. ඔහු මේ වෙද්දී ලබා සිටින උඩ පන්දු ප්‍රමාණය 8ක්.

හෙට තරගයේ දී පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ප්‍රමෝද් මධුශාන්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත/ චාමික කරුණාරත්න, ලහිරු කුමාර.

දෙරටේ පැටිකිරිය

ශ්‍රී ලංකාව හා එංගලන්ත විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා තරග 13ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ තරග 4ක් පමණයි. අනෙක් තරග 9 ම එංගලන්තය ජයග්‍රහණය කරනවා.

දෙරට අතර පැවති අවසන් තරග 5න් කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි වී නැහැ. ඔවුන් අවසන් වරට එංගලන්තයට එරෙහි ව ජයග්‍රහණය කර තිබෙන්නේ 2014 මැයි මස The Oval පිටියේ දී පැවති තරගයෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ දක්වා වසර 8කින් එංගලන්තයට එරෙහි ව ජයග්‍රහණයක් ලබා නැහැ.

මේ දක්ෂතාත් සමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ නිමා වූ වසරවල එංගලන්තය වසර 6කට වරක් අවසන් මහා තරග නියෝජනය කිරීමට සමත් ව සිටිනවා. ඔවුන් පළමු වරට අවසාන මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගන්නේ 2010 වසරේ දී. එම වසරේ ලෝක ශූරයන් වන ඔවුන් ඊට වසර 6කට පසුව එළැඹි 2016 වසරේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් අනුශූරතාව දිනා ගන්නවා. මේ එතැන් සිට ගෙවී යන 6 වැනි වසරයි.

එංගලන්ත ක්‍රීඩකයන්ගේ මේ ගණිත චක්‍රය තව දුරටත් පවත්වා ගෙන යෑමට ඔවුන්ට තවත් අවස්ථා 2ක් ඉතිරිව තිබෙනවා. එහි පළමු වැන්න ශ්‍රී ලංකාව හා පැවැත්වෙන මෙම තරගයයි. ඔවුන්ට දෙවැනි අවස්ථාවට යෑමට හැකි වන්නේ ශ්‍රී ලංකාව හා පැවැත්වෙන මෙම තරගය ජයග්‍රහණය කරන්නේ නම් පමණයි.

ශ්‍රී ලංකාවට ඔවුන්ගේ එම ගමන මෙම තරගයෙන් නතර කිරීමට හැකි වන්නේ නම් එය ශ්‍රී ලංකාවට ද වඩාත් වාසි සහගත වනු ඇත.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<