7 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන්නේ ඕස්ට්‍රේලියාවට ශූරතා කුසලානයත්, නවසීලන්තයට අනුශූරතා කුසලානයත් හිමි කර දෙමින්.
එක්දින පිටියේ 5 වතාවක් ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා ගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙනවා.
මීට පෙර ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයකට 2010 වසරේ දී සුදුසුකම් ලැබූ අතර එවර ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වෙන්නට සිදු වුනා. බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ දී පැවති මෙම තෙවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ එංගලන්තයයි. එදා ඔවුන් එංගලන්තය ඉදිරියේ කඩුලු 7ක පරාජයක් ලැබුවා.
නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලාන තරග මාලාවන් හී අවසන් මහා තරගයක් සඳහා එක් වූ පළමු අවස්ථාව මෙයයි.
අවසන් මහා තරගය අවසන් වෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයක අවසන් මහා තරගයක දී කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තා ද හිමි කර ගනිමින්. ඒ අනුව තරග ඉතිහාසයේ වඩාත් තරගකාරීම තරගය මෙය බවට ද පත් වෙනවා.
නමුත් ලෝක කුසලාන තරගාවලියට පෙර ශූරයන් අනුමාන කිරීමේ දී ඕස්ට්‍රේලියාවට කිසිදු තැනක් තිබුණේ නැහැ. ඒ ඔවුන් මෙම තරගාවලියට එක් වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම් හී 7 වැනි ස්ථානයේ සිටි බැවින් විය යුතුය.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව ඉහළට එසවෙන්නේ තවත් එක් ඉලක්කමකින් පමණයි. ඔවුන් මේ වන විට 6 වැනි ස්ථානයේ පසු වන අතර තවමත් සුපුරුදු ලෙස ම එංගලන්තය පළමු ස්ථානයේ පසු වෙනවා. නොවැම්බර් 14 වැනිදා ශ්‍රේණිගත කිරීම් අනුව එහි ශ්‍රී ලංකාවට හිමි ස්ථානය 9යි.
ලෝකයක් වෙළා ගත් කොරෝනා වයිරසය හේතුවෙන් පමා වූ ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් වූ ශ්‍රී ලංකාවත්, බංග්ලාදේශයත් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමෙනුත් සහ ඇෆ්ගනිස්තානය සුපිරි කණ්ඩායම් 8 අතරට එක් ව සිටීමෙනුත්.
සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය කාණ්ඩ ශූරයන් වෙමින් ඉදිරියට පැමිණෙන අතර ඊට අමතර ව ස්කොට්ලන්තය සහ නැමීබියාව ද සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වෙනවා.
- කෝඩුකාරයන්ගේ ක්‍රිකට් වික්‍රමය
- විස්සයි විස්සේ ජයග්‍රහණය සොයන පෙර උරුමක්කාරයෝ
- දස්කම් විස්කම් විස්සයි විස්සේ
- තවමත් T20 ලෝක කුසලානයක ජයක් නොලද කැන්ගරු ශූරයෝ
- කුළුඳුල් විස්සයි විස්ස කිරුළට පෙරගමන් යන කිවියන්
ඕස්ට්‍රේලියාව තම ලෝක කුසලාන ගමන ආරම්භ කරන්නේ දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් හිමිකර ගනිමින්. එතැන් සිට පැමිණි ගමනේ දී අවසන් පූර්ව වටයේ දී දෙවැනි කාණ්ඩයේ අපරාජිත පාකිස්තානය පරාජය කිරීමට ඔවුන් සමත් වුනා.
එහෙත් ප්‍රතිවාදීන් ලෙස නවසීලන්ත කණ්ඩායම සුදුසුකම් ලබා ගනිද්දී බොහෝ දෙනෙක්ගේ නැවත තේරීම වූයේ ද නවසීලන්තයයි. නමුත් බහුතරයක් වූ අනාවැකි බොරු කිරීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වුනා.
එම ගමනේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණ David Warner. Warner මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී දෙවැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
- තරගාවලියේ වැඩිම ලකුණු ලාභියෝ
Player | Team | M | I | NO | Runs | HS | 100 | 50 |
Babar Azam | පාකිස්තානය | 6 | 6 | 1 | 303 | 70 | 0 | 4 |
David Warner | ඕස්ට්‍රේලියාව | 7 | 7 | 1 | 289 | 89* | 0 | 3 |
Mohammad Rizwan | පාකිස්තානය | 6 | 6 | 2 | 281 | 79* | 0 | 3 |
Jos Buttler | එංගලන්තය | 6 | 6 | 3 | 269 | 101* | 1 | 1 |
චරිත් අසලංක | ශ්‍රී ලංකාව | 6 | 6 | 1 | 231 | 80* | 0 | 2 |
Warner අවසන් මහා තරගයේ දී ලබා ගත් අර්ධ ශතකය ද මේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වුනා. එමෙන් ම ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ගමනේ පුරෝගාමියා වූයේ ද Warnerයි. ඔහු ඕස්ට්‍රේලියාව සහභාගී වූ අවසන් ඉනිම් 3 දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 191ක් ලබා ගන්නවා.
එමෙන් ම ලෝක කුසලාන තරගාවලියක ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව උදා කර ගැනීමට Warner සමත් වෙනවා. මීට පෙර 2010 දී එංගලන්තයේ Kevin Pietersen මෙලෙසින් සම්මානයට පාත්‍ර වූවා.
අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් ලද Mitchell Marsh ද තම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූවා. ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු 31ක දී ලකුණු 50ක් ලබා ගනිමින් අවසන් මහා තරගයක පිතිකරුවෙක් වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද දිනා ගත්තා.
එහි පෙර වාර්තා හිමිව තිබුණේ පන්දු 33කින් 2014 වසරේ දී කුමාර් සංගක්කාර සහ 2016 වසරේ දී Joe Root වාර්තා කළ අර්ධ ශතකයි.
Marsh ලෝක කුසලාන තරගාවලිය අවසන් කරන්නේ තරග 6ක ඉනිම් 5ක දී වාර්තා කරන ලද ලකුණු 185ක් සමඟින්. එය පිතිකරණ දක්ෂතා අතර ලැයිස්තු ගත වෙන්නේ 12 වැනි ස්ථානයට.
මෙවර තරගාවලියේ දී ශතකයක් ලබා ගත් එකම පිතිකරුවා ලෙසින් වාර්තා පොත් අතරට එක් වීමට Jos Buttler සමත් වුනා. ඔහු එම දක්ෂතාව සිදු කළේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.
කෙසේ වෙතත් මේ ලැයිස්තුවේ 5 වැනි ස්ථාන හිමිකර ගනිමින් චරිත් අසලංක තම විස්සයි විස්ස මංගල ලෝක කුසලාන ගමනේ සුවිශේෂී ශ්‍රී ලාංකීය චරිතයක් බවට පත් වීම කැපී පෙනුණා. මේ ලැයිස්තුවේ මෙවැනි තැනකට පත් ළාබාලයා වන්නේ ද චරිත්.
එමෙන් ම තරගාවලියේ දී අර්ධ ශතක 3ක් හිමි කර ගන්නා චරිත් එතෙක් මෙතෙක් ලෝක කුසලාන තරගාවලියක වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් වාර්තා කළ ශ්‍රී ලාංකීය පිතිකරුවන් අතර සම තැන් ගැනීමට ද සමත් වූවා. එහි පළමු ස්ථානය 2009 එංගලන්තයේ පැවති ලෝක කුසලානයේ දී තිලකරත්න ඩිල්ශාන් වාර්තා කළ අර්ධ ශතක ත්‍රිත්වය රැඳී තිබෙනවා.
තරගාවලියේ හොඳම කඩුලු ලකුණු සබඳතා අතරට එක් වීමට අපේ ක්‍රීඩකයෝ සිව්දෙනෙක් සමත් වීම ද කැපී පෙනුණා. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග එක් ව අයර්ලන්තයට එරෙහිව වාර්තා කළ ලකුණු 123 සබඳතාව මෙවර ලෝක කුසලානයේ පමණක් නොව විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ද හොඳම සබඳතාව බවට පත් වුනා.
ඊට අමතර ව චරිත් අසලංක සහ භානුක රාජපක්ෂ එක් ව බංග්ලාදේශයට එරෙහිව 5 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 86 මෙවර ලෝක කුසලානයේ එම කඩුල්ලේ හොඳම සබඳතාව බවට ද පත් වුනා.
- තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයෝ
Player | Team | Mat | I | O | M | Runs | Wkts | Best | 4 | 5 |
වනිඳු හසරංග | ශ්‍රී ලංකාව | 8 | 8 | 30.0 | 0 | 156 | 16 | 3/09 | 0 | 0 |
Adam Zampa | ඕස්ට්‍රේලියාව | 7 | 7 | 27.0 | 0 | 157 | 13 | 5/19 | 0 | 1 |
Trent Boult | නවසීලන්තය | 7 | 7 | 27.4 | 0 | 173 | 13 | 3/17 | 0 | 0 |
Shakib Al Hazan | බංග්ලාදේශය | 6 | 6 | 22.0 | 0 | 123 | 11 | 4/09 | 1 | 0 |
Jose Hazlewood | ඕස්ට්‍රේලියාව | 7 | 7 | 24.0 | 1 | 175 | 11 | 4/39 | 1 | 0 |
කෝඩුකාරයෙක් ලෙසින් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ වනිඳු හසරංග මෙවර තරගාවලියේ වඩාත්ම කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වුනා. ඔහු තරගාවලිය අතර තුළ දී විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයට පත් වීමට සමත් වුවා පමණක් නොව විස්සයි විස්ස පිටියේ කඩුලු 50 සීමාව ද පසු කළා. මේ ලැයිස්තුවට එක් වූ ළාබාලතමයා ද වන්නේ වනිඳුයි.
එමෙන් ම එතෙක් මෙතෙක් ලෝක කුසලාන එක් තරගාවලියක දී වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන් අතරින් පෙරමුණ ගෙන සිටි අජන්ත මෙන්ඩිස් සතු වාර්තාව තමන් සතු කර ගැනීමට ද වනිඳු සමත් වෙනවා. ඒ කඩුලු 16ක් ලබා ගනිමින්. මෙන්ඩිස් ලබා සිටි කඩුලු සංඛ්‍යාව 15ක්. ඒ 2012/13 මෙරට දී පැවති ලෝක කුසලාන තරගාවලියේ දී.
මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියාවේ දඟපන්දු යවන Adam Zampa. ඔහු බංග්ලාදේශයට එරෙහිව ලකුණු 19කට කඩුලු 5ක් දවා ගන්නවා. එමෙන් ම තරගාවලිය පුරා ලකුණු 157කට කඩුලු 13ක් දවා ගනිමින් ඔහු එම ලැයිස්තුවේ දෙවැනි තැන ද දිනා ගන්නවා.
මෙම ලැයිස්තුවේ පළමු 5 දෙනා අතරට එක් වීමට තවත් ඕස්ට්‍රේලියානුවෙක් සමත් වෙනවා. ඒ වේගපන්දු යැවූ Jose Hazlewood. ඔහු ලකුණු 175කට කඩුලු 11ක් ලබා ගන්නවා. ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට මොවුන් දෙදෙනාගේ ද දායකත්වය ද බෙහෙවින් ඉවහල් වූවා.
මෙවර තරගාවලියේ ඔවුන්ගේ දක්ෂතා සමඟින් 6 වැනි ලෝක කුසලානයේ ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ මෙන් ම ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයෝ ද අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් නොලබමින් ගෙදර යැවීමට ප්‍රතිවාදී කණ්ඩායම් පෑ දක්ෂතා වඩාත් කැපී පෙනුණා.
ගියවර ශූරයන් වූ කොදෙව්වන් මෙවර තරගාවලියට තම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වැඩි දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කළ ද, ඔවුන්ට මෙම තරගාවලියේ දී ජයග්‍රහණය කළ හැකි වූයේ බංග්ලාදේශය සමඟ තරගය පමණයි.මෙම දශකයේ 2012 සහ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කර ඇති කොදෙව්වෝ මෙවර ද යමක් කරතැයි බොහෝ විචාරකයෝ බලාපොරොත්තු වූවා. ඊට හේතු වූයේ එම කණ්ඩායම ඒ තරමට ම ප්‍රබල වීමයි. පරිපූර්ණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමයි. එහෙත් ක්‍රිකට් ඉරණම එසේ ලියැවුණේ නැහැ.
ඉන්දියාව ද ඊට ආසන්නත ම තත්ත්වයකට මුහුණ දුන්න ද ඔවුන් මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් මොහොත දක්වා ම තම කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසෙතැයි අනුමාන කරමින් සිටියා.
පාකිස්තානය සහ නවසීලන්තය වෙතින් ලත් පරාජයන්ගෙන් පසුව ඇෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය සහ නැමීබියාව ඉතා ලෙහෙසියෙන් පරාජය කළ ඔවුන් බලා සිටියේ අනෙකුත් කණ්ඩායම්වල පරාජයන් මතින් ඉදිරියට යෑමටයි. එහෙත් ඔවුන්ගේ ඉරණම ද එසේ ලියැවි තිබුණේ නැහැ.
ඉරණම ලියැවී තිබුණේ ම ඕස්ට්‍රේලියාව වෙත ම යැයි තරග ප්‍රතිඵල සනාථ කරනවා. ඔවුන් මෙවර තරගාවලියේ දී තරග 7-1ක ජයග්‍රහණ වාර්තා කරනවා. පළමු වටයේ දී ඔවුන් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරන අතර එංගලන්තය වෙතින් පරාජය වෙනවා. නමුත් ඔවුන් අවශ්‍ය ම තරගයේ දී පාකිස්තානය පරාජය කිරීමට සමත් වෙනවා. ඒ අවසන් පූර්ව වටයේ දී.
ඒ වන විට පිට පිට තරග 5ක් ජයග්‍රහණය කර සිටි පාකිස්තානය තමන්ට ඉදිරියට යෑමට තිබූ අවසන් කඩඉම් තරගයේ දී ඕස්ට්‍රේලියාව වෙතින් පරාජය වෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තම ගමන නිමා කර ගනිමින්. ඕස්ට්‍රේලියානුවන්ගේ ජයග්‍රහණයේ පෙර මග සලකුණ ද එය ම විය යුතුයි.
ක්‍රිකට් පිටියේ කෙතරම් කෙරුම්කාරයන් වූවත් තරගයක වන සුළු පමාවකින් සියල්ල වෙනස් වෙන බැව් මේ ප්‍රතිඵල මනාව පෙන්නුම් කරනවා. එය එළඹෙන ලෝක කුසලානයට මෙන් ම ඕනෑම තරගයකට ද වලංගුයි. ඒ අනුව තවත් දින කිහිපයකින් උදා වෙන 2022 පැවැත්වෙන 8 වැනි ලෝක කුසලානයේ දී මේ කෙරුම්කාරයන්ගේ ඉරණම කෙසේ ලියැවී ඇද්දැයි අපට පැවසීමට හෝ අනුමාන කළ හැකි ද?
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<