Rabada ඇමරිකානු ආක්‍රමණය වළක්වා ගනී!

ICC T20 Cricket World Cup 2024

65

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ තරග ආරම්භ කරමින් පැවැත්වුණු තරගාවලියේ 41 වැනි තරගයෙන් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 18ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව විසින් ඊයේ (19) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇමරිකාව විසින් දකුණු අප්‍රිකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, අප්‍රිකානුවන් විසින් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock විසින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් අන්තර්ගත වුනා.

ඊට අමතරව නායක Adien Markramගේ පිත්තෙන් ලකුණු 46ක් ඉනිමට එක් වුනා. Heinrich Klaasen ද ඉනිමේ අවසන් භාගයේ දී හයේ පහර තුනක් ද සමඟින් පන්දු 22කින් ලකුණු 36ක් ඉනිමට එක් කළා.

මේ අතර ඇමරිකාව වෙනුවෙන් Saurabh Netravalkar සහ Harmeet Singh විසින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

දකුණු අප්‍රිකාවෙන් ලද දැවැන්ත අභියෝගයට ඇමරිකාව ද ප්‍රබල පිළිතුරක් ලබා දීමට අඩිතාලම සකසා ගත් අතර, මෙහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරු Steven Taylor ලකුණු 24කින් සහ Harmeet Singh ලකුණු 38කින් ඉනිමට දායක වුනා.

තරගයේ 18 වැනි පන්දුවාරය ආරම්භ වන විට ඇමරිකාවට තරගය ජයග්‍රහණය කිරීමට තවත් ලකුණු 50ක් අවශ්‍ය වූ අතර, මෙහි දී ඉනිමේ අනෙක් ආරම්භක පිතිකරු වූ Andries Gous විසින් Tabraiz Shamsi හට එල්ල කළ හයේ පහර ත්‍රිත්වය ද සමඟින් එම පන්දුවාරයේ දී ලකුණු 22ක් උදුරා ගැනීමට සමත් වීම නිසා තරගය ඇමරිකාව දෙසට නතු වුනා.

නමුත් ඇමරිකා ඉනිමේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Kagiso Rabada විසින් සිය පන්දුවාරය තුළ ලකුණු 2ක් පමණක් ලබා දෙමින් තරගය නැවතත් ඇමරිකාවෙන් ඉවතට ඇද ගැනීමට සමත් වීමත් සමඟ ඇමරිකානු බලාපොරොත්තු සියල්ල බොඳ වී ගියා.

කෙසේ වෙතත් මෙහි දී ඉනිම පුරාවට නොදැවී සිටි Andries Gous පන්දු 47ක් තුළ ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට හයේ පහර සහ හතරේ පහර 5 බැගින් අන්තර්ගත වුනා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී Kagiso Rabada කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

  • දකුණු අප්‍රිකාව – 194/4 (20) Quinton de Kock 74, Adien Markram 46, Saurabh Netravalkar 2/21, Harmeet Singh 2/24
  • ඇමරිකාව – 176/6 (20) Andries Gous 80*, Harmeet Singh 38, Kagiso Rabada 3/18, Keshav Maharaj 1/24

තරගයේ වීරයා – Quinton de Kock

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<