දකුණු අප්‍රිකාව තවමත් අපරාජිතයි

ICC T20 Cricket World Cup 2024

59
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 45 වැනි තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 7ක තියුණු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (21) සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය එංගලන්තය සතු වූ අතර, ඔවුන්ගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් Quinton de Kock සහ Reeza Hendricks ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Quinton de Kock වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 38කින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු විසින් හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කිරීමට සමත් වුනා.

මීට අමතර David Millerගේ පිත්තෙන් ද වේගවත් ලකුණු 43ක් ඉනිමට එක් වූ අතර, මේ අනුව දකුණු අප්‍රිකාව විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුනා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jofra Archer කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

දකුණු අප්‍රිකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි එංගලන්ත මුල් පෙළ ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, මෙහි දී එංගලන්තයේ මුල් කඩුලු 4ම ලකුණු 61ක් තුළ බිඳ වැටුණා.

කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Harry Brook සහ Liam Livingstone විසින් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සබඳතාවක් පිහිටවමින් තරගයේ තීරණය එංගලන්තයට වාසිදායක තත්වයකට ගෙන ඒමට සමත් වුනා.

මෙහි දී Brookගේ පිත්තෙන් ලකුණු 53ක් වාර්තා වූ අතර, Livingstone විසින් ලකුණු 33කින් ඉනිමට දායක වුනා.

එංගලන්ත ඉනිමේ 18 වැනි පන්දුවාරය ආරම්භ වන විට ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට පන්දු 18ක් තුළ අවශ්‍ය ව තිබුණේ ලකුණු 25ක් පමණයි. නමුත් මේ මොහොතේ පන්දුව අතට ගත් Kagiso Rabada තරගයේ 18 වැනි පන්දුවාරය එක් කඩුල්ලක් දවා ගනිමින් ලකුණු 4ක් පමණක් ලබා දෙමින් නිමා කළ අතර, මීළඟ පන්දුවාරය ක්‍රියාත්මක කළ Marco Jansen විසින් ලකුණු 7ක් පමණක් ලබා දෙමින් පන්දුවාරය නිමා කිරීමට සමත් වුනා. එමෙන්ම තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ Anrich Nortje විසින් සිය පන්දුවාරයේ දී ලකුණු 6කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනේ එංගලන්තය සතුව තිබූ පහසු ජයග්‍රහණය උදුරා ගනිමිනුයි.

මෙහි දී අප්‍රිකාව වෙනුවෙන් Keshav Maharaj සහ Kagiso Rabada කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • දකුණු අප්‍රිකාව – 163/6 (20) Quinton de Kock 65, David Miller 43, Jofra Archer 3/40
  • එංගලන්තය – 156/6 (20) Harry Brook 53, Liam Livingstone 33, Keshav Maharaj 2/25, Kagiso Rabada 2/32

තරගයේ වීරයා – Quinton de Kock

මේ අනුව දකුණු අප්‍රිකාව විසින් මෙතෙක් තරගාවලියේ ඔවුන් ක්‍රීඩා කළ තරග හයම ජයග්‍රහණය කරමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් ඉදිරියට රැගෙන යාමට සමත් වීමත් විශේෂත්වයක්.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<