Fergusonගේ වාර්තාගත පන්දු යැවීමත් සමඟ නවසීලන්තයට තවත් ජයක්

ICC Men's T20 World Cup 2024

148
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගයෙන් පැපුවා නිව් ගිනියාවට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්තය ඊයේ (17) රාත්‍රියේ සමත් වුනා. 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්තය තරගයේ පළමු ඉනිම දියත් කිරීමට සඳහා පැපුවා නිව් ගිනියාවට ආරාධනා කළ අතර, ඔවුන් සිය ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 78ක් පමණයි. 

මෙහි දී නිව් ගිනියා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Charles Amini ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක LoLockie Ferguson අදහාගත නොහැකි පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර හතර තුළ ප්‍රතිවාදීන් වෙත එකඳු ලකුණක් හෝ ලබා නොදී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් මෙවන් දක්ෂතාවක් දැක් වූ දෙවැනි අවස්ථාව (මීට පෙර කැනඩාවේ Bin Zafar විසින් පැනමාවට එරෙහිව සිය පන්දුවාර හතර තුළ ලකුණු ලබා නොදී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.) මෙය වන අතර, විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එවන් දස්කමක් වාර්තා කළ පළමු පන්දු යවන්නා බවට පත් වීමට ද ඔහු සමත් වුනා. 

මීට අමතරව නවසීලන්තය වෙනුවෙන් Trent Boult, Tim Southee සහ Ish Sodhi කඩුලු 2ක බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

පැපුවා නිව් ගිනියාවෙන් ලද පහසු ඉලක්කය නවසීලන්තය විසින් කඩුලු 3ක් පමණක් දැවෙමින් සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, මෙහි දී Devon Conwayගේ පිත්තෙන් ලකුණු 35ක් වාර්තා වුනා. 

  • පැපුවා නිව් ගිනියාව – 78/10 (19.4) Charles Amini 17, Lockie Ferguson 3/0, Tim Southee 2/11 
  • නවසීලන්තය – 79/3 (12.2) Devon Conway 35, Kabua Morea 2/4 

තරගයේ වීරයා – Lockie Ferguson  

කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය නවසීලන්තයට සුපිරි අට වටය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ අනුව ඔවුන් ද පැපුවා නිව් ගිනියාව සමඟින් ම තරගාවලියෙන් ඉවතට විසි වී යනවා. 

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<