ඇෆ්ගනිස්තානය සහ නෙදර්ලන්තය ජයග්‍රහණ ලබයි

ICC Men's T20 World Cup 2024

65

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළ ව ඊයේ (04) දිනයේ ක්‍රියාත්මක වූ තරගවලින් ජයග්‍රහණ ලැබීමට ඇෆ්ගනිස්තානය සහ නෙදර්ලන්තය විසින් සමත් වුනා.

තරගාවලියේ පස් වැනි තරගය ලෙස ඊයේ උදෑසන පැවැත්වුණු උගන්ඩාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඇෆ්ගන් ආරම්භක පිතිකරු යුගලය වූ Rahmanullah Gurbaz (76) සහ Ibrahim Zadran (70) අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක දැවැන්ත සබඳතාවක් ගොඩ නැඟුණා. මෙය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ආරම්භක පිතිකරු යුගලයක් විසින් පවත්වනු ලැබූ දෙවැනි හොඳම ලකුණු සබඳතාව ලෙසයි ඉතිහාසගත වුනේ.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස උගන්ඩාවෙන් වාර්තා වුනේ ලකුණු 58ක් පමණයි. මෙහි දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Fazalhaq Farooqi විසින් ලකුණු 9කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. මෙය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නකු විසින් වාර්තා කළ සිව්වැනි හොඳම පන්දු යැවීමෙ ලෙස ඉතිහාසයට එක් වුනා.

මේ අතර එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවැත්වුණු තරගය විසඳුමක් නොමැතිව අවසන් වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දුවාර 10ක් තුළ කිසිවකු නොදැවී ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ස්කොට්ලන්තය වෙනුවෙන් Michael Jones ලකුණු 45ක් සහ George Munsey  ලකුණු 41ක් ලබා ගත් අතර, එම ඉනිම පුරාවටම වර්ෂාවෙන් බාධා එල්ල වුනා. නොනවතින වර්ෂාව නිසා තරගය අත්හැර දමන විට එංගලන්තයට පන්දුවාර 10ක් තුළ ලකුණු 109ක ඉලක්කයක් (Duckworth-Lewis න්‍යාය අනුව) හිමිව තිබූ අතර, එය එංගලන්තයට විශාල අභියෝගයක් වීමට ද ඉඩ තිබුණා.

මේ අතර නෙදර්ලන්තය සහ නේපාලය අතර පැවැත්වුණු අනෙක් තරගයෙන් නෙදර්ලන්තයට කඩුලු 6ක ජයක් හිමි වුනා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම පන්දුවාර 19 පන්දු 2ක් තුළ සියල්ලන් ම දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වූ අතර, නායක Rohit Paudel ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් ලකුණු 35ක් ලබා ගත්තා.

නෙදර්ලන්තය වෙනුවෙන් Tim Pringle සහ Logan Van Beek කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.

නේපාලයෙන් ලද ඉලක්කය හඹා ගිය නෙදර්ලන්තය විසින් පන්දු 8ක් ඉතිරිව තිබිය දී අදාළ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී නෙදර්ලන්තයේ ඉහළම ලකුණු ලාභියා වූ Max O’Dowd නොදැවී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තානය සහ උගන්ඩාව

  • ඇෆ්ගනිස්තානය – 183/5 (20) Rahmanullah Gurbaz 76, Ibrahim Zadran 70, Cosmas Kyewuta 2/25
  • උගන්ඩාව – 58/10 (16) Robinson Obuya 14, Fazalhaq Farooqi 5/9, Naveen-ul-Haq 2/4

ඇෆ්ගනිස්තානයට ලකුණු 125ක ජයක්.

තරගයේ වීරයා – Fazalhaq Farooqi

එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර

  • ස්කොට්ලන්තය – 90/0 (10) Michael Jones 45*, George Munsey  41*

තරගය විසඳුමකින් තොරව අවසන් වුනා.

නෙදර්ලන්තය සහ නේපාලය අතර

  • නේපාලය – 106/10 (19.2) Rohit Patel 35, Tim Pringle 3/20, Logan Van Beek 3/18
  • නෙදර්ලන්තය – 109/4 (18.4) Max O’Dowd 54*, Vikramjit Singh 22, Dipendra Singh Airee 1/6

නෙදර්ලන්තයට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – Tim Pringle

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<