පන්දු යවන්නන්ට නතු වූ තරගයේ ජය ඉන්දියාවට!

ICC T20 Cricket World Cup 2024

78
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වුණු 19 වැනි තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 6ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (10) උදෑසන සමත් වුනා.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

මේ අනුව Virat Kohli සහ Rohit Sharma ඉන්දියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු නමුත්, මෙවරත් Kohliට නම් වැඩි වේලා පිටියේ රැඳී සිටීමට හැකි වුනේ නැහැ.

Naseem Shah විසින් Kohliගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වූ අතර, ඊට මොහොතකට පසු නායක Sharma ද Shaheen Shah Afridiගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වූ අතර, තරගය පැවැත්වුණු නිව් යෝර්ක් ක්‍රීඩාංගණය ද පිතිකරුවන්ට කිසි සේත් ම වාසි දායක නොවූ වාතාවරණය වුවත් ඉන්දීය ඉනිමේ අංක තුන පිතිකරු Rishabh Pant විසින් පන්දු 31කින් ලකුණු 42ක් වාර්තා කරමින් වටිනා ඉනිමක් දියත් කළා. එමෙන්ම Axar Patel අංක හතර පිතිකරු ලෙස පිවිසෙමින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.

ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 58ක් වන විට Axar දැවී ගිය අතර, ඉන් පසුව පිටියට පිවිසි Suryakumar Yadav ඉනිමේ ලකුණු තත්වය 89ක් වන තෙක් කඩුල්ලේ රැඳී සිටියා.

නමුත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ Mohommad Aamir සහ Haris Rauf ඇතුළු පාකිස්තාන පන්දු යවන්නන් විසින් ඉන්දීය ඉනිම නොසිතූ ආගාධයකට ඇද දැමීමට සමත් වුනේ ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 7ම ලකුණු 30ක් තුළ දවා ගනිමිනුයි.

මෙහි දී පාකිස්තානය වෙනුවෙන් Haris Rauf සහ Naseem Shah කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඉන්දියාවෙන් එල්ල වූ ලකුණු 120ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් Mohammad Rizwan සහ Babar Azam පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා ඉනිමට ලකුණු 26ක් එක් කිරීමට සමත් වුනා. එම සබඳතාව Babarගේ දැවී යාමෙන් අවසන් වූ නමුත්, Rizwan විසින් කඩුල්ලේ රැඳෙමින් ලකුණු එකතු කිරීම නොකඩවා සිදු කිරීමට සමත් වුනා.

Rizwan තරමක් මන්දගාමී නමුත් වටිනා ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දු 44කින් වාර්තා වූ මෙම ඉනිම නිමා වන විට පාකිස්තාන ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලෙස සටහන් වී තිබුණා.

ඒ මොහොතේ පාකිස්තානයට තරගය ජයග්‍රහණය කිරීම සඳහා පන්දු 35ක් තුළ අවශ්‍ය වුනේ ලකුණු 40ක් පමණක් වුවත්, තරගයේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ තවත් ලකුණු 33ක් පමණයි.

ඒ අනුව පාකිස්තාන ඉනිම ලකුණු 113කින් නතර වුනේ ඉන්දියාවට ලකුණු 6ක තියුණු ජයක් උරුම කර දෙමිනුයි.

මෙහි දී ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Jasprit Bumrah ලකුණු 14ක් ලබා දී කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • ඉන්දියාව – Rishabh Pant 42, Naseem Shah 3/21 Haris Rauf 3/21, Mohammad Aamir 2/23
  • පාකිස්තානය – Mohammad Rizwan 31, Jasprit Bumrah 3/14, Hardik Pandya 2/24

තරගයේ වීරයා – Jasprit Bumrah

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<