ඇමරිකාවෙන් ඉන්දියාවට විශාල අභියෝගයක්

ICC Men's T20 World Cup 2024

63

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය ලෙස පැවැත්වුණු ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (12) සමත් වුනා. 

ඇමරිකාවේ නිව් යෝර්ක් හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක Rohit Sharma සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් ඇමරිකාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා. 

මෙතෙක් තරගාවලිය පුරාවට ඉතා අවම ලකුණු වාර්තා වූ මෙම ක්‍රීඩාංගණයේ දී ඇමරිකාව විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඇමරිකානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Nitish Kumarගේ පිත්තෙන් ලකුණු 27ක් වාර්තා වුනා. 

මේ අතර මෙම ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ Arshdeep Singh සිය පන්දුවාර හතර තුළ ලකුණු 9ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඇමරිකාවෙන් ලද ඉලක්කය ඉතා අවම තත්වයට පැවතුනත් එය හඹා යාම නම් ඉන්දියාවට එතරම් පහසු කටයුත්තක් වුනේ නැහැ. මෙවරත් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගිය අතර, නායක Sharma ද ලකුණු 3කට පිටියෙන් ඉවත් කිරීමට Saurabh Netravalkar විසින් සමත් වුනා. 

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 44ක් තුළ බිඳ වැටුණු නමුත්, ඉන් පසුව කඩුල්ලේ එක් වූ Suryakumar Yadav සහ Shivam Dube තමන්ට හුරු පුරුදු පිතිකරණ රටාවෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙමින් ඉතා ඉවසිලිවන්ත ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

මෙහි දී Surya විසින් පන්දු 49කින් ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වූ අතර, Dube පන්දු 35කින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා විසින් ඉන්දීය ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා. 

  • ඇමරිකා එක්සත් ජනපදය – 110/8 (20) Nitish Kumar 27, Steven Taylor 24, Arshdeep Singh 4/9, Hardik Pandya 2/19 
  • ඉන්දියාව – 111/3(18.2) Suryakumar Yadav 50*, Shivam Dube 31*, Saurabh Netravalkar 2/18 

තරගයේ වීරයා – Arshdeep Singh  

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<