ඉන්දියාව අපරාජිත ගමනකින් අවසන් සටනට!

ICC Men's T20 Cricket World Cup 2024

55
India Cricket

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (28) උදෑසන සමත් වුනා. 

එංගලන්තය සහ ඉන්දියාව අතර ඊයේ (27) රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, තරගය පැවැත්වීමට හැකි වේද යන්නත් ගැටලුවක් බවට පත් වී තිබුණා. 

කෙසේ වෙතත් පසුව සම්පූර්ණ තරගයම ක්‍රියාත්මක කිරීමට හැකි වූ අතර, තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා. 

කෙසේ නමුත් මෙවරත් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වූ අතර, ඉන්දීය ඉනිමේ කඩුලු 2ක් ලකුණු 40ක් තුළ බිඳ වැටුණා. නමුත් නායක Rohit Sharma සහ Suryakumar Yadav විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, මෙහි දී Rohit විසින් නැවතත් වටිනා ඉනිමක් දියත් කරමින් පන්දු 39කින් ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ වෙනුවෙන් ඔහු හයේ පහර දෙකක් සහ හතරේ පහර 6ක් එල්ල කළ අතර, ඔහුගේ සහයට සිටි Surya විසින් පන්දු 36කින් ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව ඉනිමේ අවසන් භාගයේ දී Hardik Pandya විසින් වේගවත් ලකුණු 23ක් ද ඉනිමට එක් කළ අතර, ඒ අනුව ඉන්දීය ඉනිම ලකුණු 171ක් දක්වා ඇදී ගියා. 

එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Chris Jordan කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඉන්දියාවෙන් ලද ඉලක්කය හඹා යාම එංගලන්තයට කිසි සේත් ම පහසු කටයුත්තක් නොවූ අතර, ඉන්දීය දඟ පන්දු යවන්නන් විසින් සම්පූර්ණයෙන්ම පාහේ එංගලන්තය පිතිකරුවන් පාලනය කිරීමට සමත් වුනා. 

මෙහි දී එංගලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Harry Brook ලකුණු 25ක් ලබා ගත්තා. ඉන්දියාව වෙනුවෙන් Axar Patel සහ Kuldeep Yadav කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

  • ඉන්දියාව – 171/7 (20) Rohit Sharma 57, Suryakumar Yadav 47, Chris Jordan 3/37, Adil Rashid 1/25 
  • එංගලන්තය – 103/10 (16.4) Harry Brook 25, Jos Buttler 23, Kuldeep Yadav 3/19, Axar Patel 3/23 

තරගයේ වීරයා – Axar Patel  

ඒ අනුව ඊයේ උදෑසන ඇෆ්ගනිස්තානයට එරෙහිව පහසු ජයක් ලද දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව හෙට (29) 2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති. 

එමෙන්ම මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙතෙක් තරගාවලිය පුරාවට අපරාජිත ව සිටීමට සමත් වී ඇති අතර, හෙට දිනයෙන් එම එක් කණ්ඩායමක අපරාජිත රැල්ල ද නිමාවට පත් වනු ඇති. 

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<