ඕස්ට්‍රේලියාව එංගලන්තයත් රැගෙන සුපිරි 8 වටයට යයි!

ICC T20 Cricket World Cup 2024

64
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 5ක තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව අද (16) උදෑසන සමත් වුනා.

මෙම තරගය ඕස්ට්‍රේලියාවට මෙන්ම එංගලන්තයට ද ඉතා වැදගත් තරගයක් වූ අතර, තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළා.

මෙහි දී තරගයේ පළමු ඉනිම දියත් කළ ස්කොට්ලන්ත පිතිකරුවන් විසින් ඕස්ට්‍රේලියාවට තරු විසිවන අන්දමේ ප්‍රහාරයක් දියත් කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ස්කොට්ලන්තය වෙනුවෙන් Brandon McMullen පන්දු 34ක් තුළ ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 6කින් වර්ණවත් වුනා.

මීට අමතරව නායක Richie Berrington නොදැවුණු ලකුණු 42ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Glenn Maxwell කඩුලු 2ක් දවා ගත්තා.

ස්කොට්ලන්තයෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 3ක් ලකුණු 60ක් තුළ දවා ගනිමින් තරගයේ වාසිය තමන් වෙතට හරවා ගැනීමට ස්කොට්ලන්තය සමත් වී සිටි නමුත්, මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Travis Head සහ Marcus Stoinis විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී Travis Head පන්දු 49ක් තුළ ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 4ක් ද සමඟයි.

මේ අතර Marcus Stoinis පන්දු 29කින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ හේතුවෙන් පන්දුවාර 19 පන්දු 4ක් තුළ කඩුලු 5ක් දැවෙමින් අදාළ ඉලක්කය හඹා යාමට ඕස්ට්‍රේලියාව විසින් සමත් වුනා.

ස්කොට්ලන්තය වෙනුවෙන් Mark Watt සහ Safyaan Sharif කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

  • ස්කොට්ලන්තය – 180/5 (20) Brandon McMullen 60, Richie Berrington 42*, Glenn Maxwell 2/44
  • ඕස්ට්‍රේලියාව – 186/5 (19.4) Travis Head 68, Marcus Stoinis 59, Mark Watt 2/34, Safyaan Sharif 2/42

තරගයේ වීරයා – Marcus Stoinis

ඕස්ට්‍රේලියාව ලද මෙම ජයත් සමඟින් ඔවුන්ගේ සුපිරි අට වටයේ ස්ථානය මෙන්ම එංගලන්ත කණ්ඩායමේ ස්ථානය ද තහවුරු වුනා. කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී ස්කොට්ලන්තය විසින් කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ තරම් ඉහළ දක්ෂතා දක්වමින් සුපිරි 8 වටය පෙනෙන මානයට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්.

ස්කොට්ලන්තයට මෙවර තරගාවලියේ සුපිරි අට වටය අහිමි වී යන්නේ එංගලන්තයට වඩා අඩු දළ ලකුණු වේගයක් රඳවා ගැනීම නිසායි.

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<