මීලඟ එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කණ්ඩායම් 10ක් උරෙනුර ගැටෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මේ දිනවල සිම්බාබ්වේ හිදී ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් අද (23) තම දෙවැනි තරගයට එක්වුනු ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය කඩුලු 10කින් පරාජය කර දැමුවා.
අද තරගයත් ක්‍රියාත්මක වුනේ ශ්‍රී ලංකාව පළමු තරගයට එක්වූ බුලවායෝ හි Queens Sports Clubහිදීයි. ඒ වෙනුවෙන් තම ජයග්‍රාහී කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකාව වග බලාගෙන තිබුනා. මේ නිසා පුහුණු සැසියක් අතරේදී සුළු ආබාධයකට ලක්ව විවේක ගන්නා දුෂ්මන්ත චමීර අද තරගයටත් ක්‍රීඩා කළේ නැහැ.
තරගාවලියේ මුල් තරග දෙකට සහභාගි වී අයර්ලන්තය සහ UAE කණ්ඩායම පරාජය කළ ඕමානය ශ්‍රී ලංකාවටත් හොඳ තරගයක් ලබා දෙනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වුනත් කරුණු කාරණා ඒ අයුරින් සිදුවුනේ නැහැ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමින් පිති අතට ගත් ඕමානයේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දීම දැවී ගියා.
එහිදී ලහිරු කුමාරගේ වේගය ඉදිරියේ කඩුල්ල මුවා කිරීමට වරදට හසුවුනේ එක් ලකුණක් ලබා සිටි Kashyap Prajapapatiයි. ඕමාන් කණ්ඩායමේ හොඳම තුරුම්පුවක් වන Aqib Ilyas අද දිනයේ රැස් කළේ ලකුණු 6ක් පමණයි. කසුන් රාජිතගේ දෝලනය හමුවේ Ilyasගේ පිත්තේ ගැටී වේගයෙන් තමන් වෙත ඇදී ආ උඩපන්දුව පැතුම් නිස්සංක සුරැකිව රැක ගත්තා.
ඕමාන් නායක Zeeshan Maqsood විශාල ඉනිමකට යාමට පෙරම දවා ගන්නට ලහිරු කුමාර සමත් වුනා. ඒ වෙනුවෙන් Zeeshan එල්ල කළේ නායකත්වයට පවා නොගැලපෙන අවලස්සන පහරක්. Mohommed Nadeem ලකුණු ලබා ගන්නට පෙරම එල්ල කළ පහර දිමුත් කරුණාරත්න ඉදිරියට පනිමින් අලංකාර උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගත්තේ ලහිරු කුමාරට තෙවැනි කඩුල්ලත් හිමිකර දෙමින්.
- වනිඳුගේ නැගිටීම හමුවේ UAEට දරුණු පරාජයක්!
- ශ්‍රී ලංකාව සහ UAE අතර ගැටුමට පෙර
- දිමුත් සහ කුසල්ගෙන් ශතක; මතීෂගෙන් හොඳ පන්දු යැවීමක්
- දසුන් සහ දිමුත් පුහුණු තරගයේ ජය තහවුරු කරයි
වේග පන්දු යවන්නන් දෙදෙනා තම රාජකාරිය අකුරටම ඉටු කිරීමෙන් පසු පන්දුව අතට ගත් වනිඳු හසරංග ඕමාන ඉනිම බිමටම සමතලා කර දැම්මා. ඒ ලකුණු 13ට කඩුලු 5ක් දවා ගනිමින්. බුලවායෝ තණතිල්ලෙන් උපරිමය ලබා ගන්නා වනිඳු මේ වනවිට තරග 2කදී කඩුලු 11ක් දවාගෙන අවසන්. නිතරම කඩුල්ල කෙලින් පන්දු යැවීමට උත්සාහ ගන්නා ඔහුගේ කඩුල්ල බිඳ දැමිමෙන් සහ කඩුල්ල මුවා කිරීමෙන් වන දවා ගැනීම් ප්‍රතිශතය මේ වනවිට 65%කටත් වඩා ඉහළ අගයක් වනවා.
ඕමාන් ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වූ Aayan Khan පන්දු 60කදී ලකුණු 41ක් රැස් කළේ හතරේ පහර 4ක් සමඟින්. නමුත් ඔහුට සහයට පිතිකරුවෙකු නොසිටීම නිසා ඕමාන් ඉනිම අද පන්දුවාර 30.2ක් තුලදී නිමාවට පත් වුනා. ඒ ලකුණු 98කටයි. මෙය ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයක්.
මෙම සුළු ලකුණු සංඛ්‍යාව පහසුවෙන් හඹා ගිය ශ්‍රී ලංකාව හරියටම පන්දුවාර 15 සම්පූර්ණ වනවිට ඕමානය ලබාදුන් ඉලක්කය සපුරා ගත්තා. ඒ කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට ලබා නොදෙමිනුයි. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න තවත් අර්ධ ශතකයක් තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගත්තේ ලෝක කුසලානය ආසන්නයේ ලැබුනු කැඳවීම තවදුරටත් සාධාරණීකරණය කරමින්. පන්දු 51ක් තුල ඔහු වේගවත් ලකුණු 61ක් නොදැවී ලබා ගත්තේ හතරේ පහර 8ක් සමඟිනුයි.
අනෙක් අන්තයේ සිටි පැතුම් නිස්සංක අද පන්දු 39කින් ලකුණු 37ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 5ක් එල්ල කරමින්. ඔවුන් දෙදෙනාගේ නොබිඳුනු ශතක සබඳතාවයට වැයවුනේ පන්දු 90ක් පමණයි. මෙම දැවැන්ත ජයග්‍රහණය නිසාම ශ්‍රී ලංකාවට තම දළ ලකුණු වේගය +4.22ක් වැනි දැවැන්ත අගයක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකිවුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kashyap Prajapati | lbw b Lahiru Kumara | 1 | 9 | 0 | 0 | 11.11 |
Jatinder Singh | lbw b Wanindu Hasaranga | 21 | 43 | 2 | 0 | 48.84 |
Aqib Ilyas | c Pathum Nissanka b Kasun Rajitha | 6 | 13 | 0 | 0 | 46.15 |
Zeeshan Maqsood | c Charith Asalanka b Lahiru Kumara | 1 | 8 | 0 | 0 | 12.50 |
Mohammad Nadeem | c Dimuth Karunaratne b | 0 | 7 | 0 | 0 | 0.00 |
Ayaan Khan | c & b | 41 | 60 | 4 | 0 | 68.33 |
Shoaib Khan | b Wanindu Hasaranga | 0 | 2 | 0 | 0 | 0.00 |
Jay Odedra | lbw b Wanindu Hasaranga | 0 | 3 | 0 | 0 | 0.00 |
Naseem Khushi | run out () | 1 | 2 | 0 | 0 | 50.00 |
Fayyaz Butt | not out | 13 | 28 | 0 | 0 | 46.43 |
Bilal Khan | lbw b | 0 | 7 | 0 | 0 | 0.00 |
Extras | 14 (b 0 , lb 0 , nb 0, w 14, pen 0) |
Total | 98/10 (30.2 Overs, RR: 3.23) |
Fall of Wickets | 1-1 (1.4) Kashyap Prajapati, 2-15 (4.6) Aqib Ilyas, 3-16 (7.2) Zeeshan Maqsood, 4-20 (9.3) Mohammad Nadeem, 5-72 (20.1) Jatinder Singh, 6-72 (20.3) Shoaib Khan, 7-72 (20.6) Jay Odedra, 8-82 (23.1) Naseem Khushi, 9-94 (28.1) Ayaan Khan, 10-98 (30.2) Bilal Khan, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 6 | 0 | 17 | 1 | 2.83 | |
Lahiru Kumara | 8 | 2 | 22 | 3 | 2.75 | |
Mahesh Theekshana | 4 | 0 | 23 | 0 | 5.75 | |
Dasun Shanaka | 2 | 0 | 10 | 0 | 5.00 | |
Wanindu Hasaranga | 7.2 | 1 | 13 | 5 | 1.81 | |
Dhananjaya de Silva | 3 | 0 | 9 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | not out | 37 | 39 | 5 | 0 | 94.87 |
Dimuth Karunaratne | not out | 61 | 51 | 8 | 0 | 119.61 |
Extras | 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0) |
Total | 100/0 (15 Overs, RR: 6.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Bilal Khan | 4 | 0 | 26 | 0 | 6.50 | |
Fayyaz Butt | 3 | 0 | 24 | 0 | 8.00 | |
Zeeshan Maqsood | 4 | 0 | 24 | 0 | 6.00 | |
Jay Odedra | 3 | 0 | 16 | 0 | 5.33 | |
Ayaan Khan | 1 | 0 | 10 | 0 | 10.00 |
තරගයේ වීරයා සම්මානය නැවත වරක් දිනා ගැනීමට වනිඳු හසරංගට හැකිවුනා. ශ්‍රී ලංකාව මේ දක්වා මුහුණ දුන් තරග ද්විත්වයේදීම ඔවුන්ට පිත්තෙන් හෝ පන්දුවෙන් කිසිදු අභියෝගයක් එල්ල නොවීම විශේෂත්වයක්. මේ අනුව ඉදිරි වටයට එක් කාණ්ඩයකින් කණ්ඩායම් 3ක් සුදුසුකම් ලබන නිසා බොහෝදුරට ඔවුන්ට සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකිවනු ඇති.
ශ්‍රී ලංකාව මීලඟට මුහුණ දෙන අභියෝගය ලෙස අයර්ලන්තය සමඟ තරගය අනිද්දා (25) බුලවායෝ හිදීම පැවැත්වීමට නියමිතයි. එහි උණුසුම් තතු විත්ති සේම ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<