2013 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහභාගී වන තෙවැනි තරගය හෙට (25) අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ද සුපුරුදු පරිදි Bulawayo හී Queens ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මේ වෙද්දී මෙම තරගාවලියේ අපරාජිතව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ රැඳී සිටිමින් ද, අයර්ලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානයේ සිටිමින් ද එකිනෙකා හමුවෙයි.
දෙරට එක්දින තරග ඉතිහාසයේ එකිනෙකා හමුවෙන් සිව්වැනි අවස්ථාවයි මේ. පැවති තරග 4 දී ම ජයග්‍රාහකයන් වන්නේ ශ්‍රී ලංකාව වන බැවින් මෙම තරගයේ දී ද එම ප්‍රතිඵලය ලබා ගැනීම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවයි.
අයර්ලන්තය මේ දක්වා එක්දින තරග 190කට මුහුණ දෙමින් ඉන් තරග 75ක් ජයග්‍රහණය කරද්දී තරග 99ක් පරාජය වී තිබෙනවා. අනෙකුත් තරග අතරින් තරග 3ක් ලකුණු සම වීමෙන් අවසන් වන අතර තවත් තරග 13ක් විසඳුමක් නොමැතිව අවසන් වෙනවා.
අයර්ලන්ත එක්දින ඉතිහාසයේ කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ඇත්තේ ශ්‍රී ලංකාව වෙතිනුයි. ඒ 2007 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ දී එකිනෙකා හමුවෙද්දී ඔවුන්ගේ ඉනිම ලකුණු 77කට සීමා වීමෙන්. ඒ සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැය කරන්නේ පන්දුවාර 27.4ක් පමණයි.
එම වාර්තා ගත තරගයේ ශ්‍රී ලංකා නායකයා ලෙස මහේල ජයවර්ධන කටයුතු කළ අතර අයර්ලන්ත නායකයා ලෙස Trent Johnston කටයුතු කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම
නිමා වූ තරග ද්විත්වයේ ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට ම පිවිස ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගයට පිවිසෙන්නේ එම ස්ථානය තව දුරටත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාව ඇතිවයි. ඊට අවශ්‍ය උත්තේජන පෙර තරග 2 දී ඕනෑවටත් වඩා තිබෙනවා.
ඒ අනුව ඉදිරි පෙළ පිතිකරුවන් වන පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක වෙත තැබෙන විශ්වසනීයත්වය එලෙස ම පවතිනවා.
එමෙන් ම නිමා වූ තරග ද්විත්යේ දී ම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ වනිඳු හසරංග තව දුරටත් ශ්‍රී ලංකාවේ තරග දිනවන්නා බවට අවිවාදයෙන් ම පත් ව සිටීම වඩාත් වාසි සහගතයි. ඔහු මෙම තරගාවලියේ දී මේ දක්වා පන්දු 92ක් පමණක් යවමින් කඩුලු 11ක් දවා ගනිමින් කඩුලු ලැබූවන් අතර පළමු ස්ථානයේ පසු වෙනවා.
ඊට අමතර ව ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ද තමන්ට ලැබෙන අවස්ථාවක දී තම දක්ෂතා උපරිමයෙන් කණ්ඩායමට ලබා දෙනු ඇතැයි යන විශ්වාසයත් සහ දඟපන්දු යවන මහීෂ තීක්ෂණ මෙන් ම වේග පන්දු යවන කසුන් රාජිත සහ ලහිරු කුමාර ද මේ වන විට තමන් ද විශ්වාසවන්ත ක්‍රීඩකයන් බැව් ඔප්පු කර තිබීමත් ප්‍රතිවාදීන්ට ශ්‍රී ලංකා කණ්ඩායම ගැන වරක් දෙවරක් නොවේ තව තවත් තිගැස්සී බැලීමට ඉඩ සලසා දී තිබෙනවා.
එබැවින් මේ තීරණාත්මක අවස්ථාවේ දී අත්හදා බැලීම් අනවශ්‍ය බැවින් මෙම තරගයේ දී ද පෙර තරග ද්විත්වයට ක්‍රීඩා කළ කණ්ඩායම ම කැඳවෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
අයර්ලන්තය සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර
අයර්ලන්ත කණ්ඩායමේ සූදානම
අයර්ලන්තය මෙම තරගාවලියේ දී මෙතෙක් සහභාගී වූ තරගවලින් ඕමානය සමඟින් වූ තරගයෙන් කඩුලු 5ක නොසිතූ පරාජයකට ද සහ අනතුරුව පැවති ස්කොට්ලන්තය සමඟ තරගයෙන් තියුණු සටනකින් පසුව කඩුල්ලක පරාජයකට ද මුහුණ දීමට සිදු වෙනවා.
කෙසේ වෙතත් මෙම තරග 2 දී ම ඔවුන් ලකුණු 280 සීමාව පසු කිරීමට සමත් වෙන අතර පිතිකරුවෝ සේ ම පන්දු යවන්නෝ ද දක්ෂතා අතර සිටිද්දී ඔවුන් ලැබූ පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවධානය යොමු කළ යුතුයි.
- වනිඳුගේ කඩුලු 5 නිසා ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්!
- ඇමරිකානු ක්‍රීඩකයාට විශේෂ තහනමක්
- ශ්‍රී ලංකාවත් ඕමානයත් හමුවෙන තීරණාත්මක තරගය
- Razaගේ අනපේක්ෂිත ශතකය වාර්තා පොත් අලුත් කරයි!
- ශ්‍රී ලංකාව සහ UAE අතර ගැටුමට පෙර
අවධානය ලක් කළ යුතු අයර්ලන්ත ක්‍රීඩකයෝ
Andy Balbirnie
32 හැවිරිදි වියේ පසුවෙන කණ්ඩායමේ නායක Andy Balbirnie ශ්‍රී ලංකාව හා තරගයකට පිවිසෙන්නේ පළමු වතාවටයි. එසේ වූවත් ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 33ක් මෙහෙයවා තිබෙනවා.
ඒ අතරින් තරග 5ක් පමණක් ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහෙයවා ඇති ඔහු තරග 24ක් පරාජය වී ඇති අතර තවත් තරග 4ක් නොවිසඳුණ තරග ලෙසින් ඉතිහාසයට එක් කර තිබෙනවා.
මේ දක්වා එක්දින තරග 97කට ක්‍රීඩා කර ඇති Andy Balbirnie ශතක 8ක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2783ක් ලබා සිටිනවා.
George Dockrell
30 හැවිරිදි වියේ පසුවෙන George Dockrell මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ සිටින වඩාත් ම අවධානයට ලක් විය යුතු ක්‍රීඩකයායි. ඔහු මෙම තරගාවලියේ මේ දක්වා නිමා වූ තරග ද්විත්වයේ දී ලකුණු 160ක් ලබා සිටිනවා.
ඊට ඕමානය සමඟ පැවති තරගයේ දී පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 91ක් සහ ස්කොට්ලන්තය සමඟ පැවති තරගයේ දී පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගන්නවා.
ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 113ක ඉනිම් 79ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1210ක් ලබා සිටිනවා. පන්දු යැවීමේ දී ද සුවිශේෂී දක්ෂතා දක්වන George Dockrell එක්දින ඉනිම් 99ක දී පන්දු යවමින් කඩුලු 101ක් ලබා ගනිමින් අයර්ලන්ත ඉතිහාසයේ කඩුලු ලැබූවන්ගේ ලැයිස්තුවේ දෙවැනි අසුන හිමිකර ගෙන සිටිනවා.
Harry Tector
23 හැවිරිදි වියේ පසුවෙන Harry Tector අයර්ලන්ත කණ්ඩායමේ සිටින ප්‍රවේගකාරී පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 34කට ක්‍රීඩා කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1338ක් ලබා සිටිනවා.
ඔහු නිමා වූ ඕමානය සමඟ පැවති තරගයේ දී පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
Paul Stirling
මෙම තරගාවලියේ තවමත් ලකුණු අතරට පිවිසීමට සමත් නොවූව ද අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ක්‍රීඩකයන් අතර ගෞරවනීය නාමයක් දිනා ගැනීමට Paul Stirling සමත් වෙනවා. 32 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ දක්වා තරග 150කට මුහුණ දෙමින් ශතක 13ක් සහ අර්ධ ශතක 27ක් සමඟින් ලකුණු 5357ක් ලබා සිටිනවා.
එය එරට ක්‍රීඩකයෙක් එක්දින තරගවල ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර එරට වෙනුවෙන් පිතිකරුවෙක් ඉනිමක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද ඔහු සතු වෙනවා. ඒ කැනඩාවට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 177යි.
Paul Stirling ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3කට සහභාගී වී ඇති අතර එහි දී ලබා ඇත්තේ ලකුණු 53ක් පමණයි.
Curtis Campher
දකුණු අප්‍රිකාවේ උපත ලද Curtis Campher අයර්ලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින්. ඔහු මෙම තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවති තරගයේ දී පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 120ක් ලබා ගන්නවා. එය ඔහුගේ එක්දින තරග දිවියේ මංගල ශතකයයි.
ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන අයර්ලන්ත කණ්ඩායම: Andy Balbirnie (නායක), Andy McBrine, Paul Stirling, Harry Tector, Lorcan Tucker (කඩුලු රකින්නා), Curtis Campher/ Graham Hume, George Dockrell, Gareth Delany, Mark Adair, Josh Little, Ben White.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ළඟා විය හැකි කඩඉම්
- දිමුත් කරුණාරත්නට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 8ක් පමණයි.
- චරිත් අසලංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 46ක් පමණයි.
- පැතුම් නිස්සංකට එක්දින ජාත්‍යන්තර ලකුණු 1000ක් වාර්තා කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 59ක් පමණයි.
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලු තොරතුරු සැනෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<