ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය කොළඹ දී

ICA 1st International Half Marathon Colombo 2024

149
ICA 1st International Half Marathon Colombo 2024

ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පළමු වරට සංවිධානය කරන ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය සැප්තැම්බර් මස 01 වැනි දා පැවැත්වීමට නියමිත බව නිවේදනය කළා.

ඊයේ (13) කොළඹ දී පැවැත්වුණු විශේෂ වැඩසටහනක දී මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම සිදු කළ අතර, මෙම තරග ඉසව්ව එදින උදෑසන ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී එතැන් ම නිමා කිරීමටයි සැලසුම් සකස් කර තිබෙන්නේ.

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වන අතර, මෙමඟින් ශ්‍රී ලංකාවට සංචාරක ගමනාන්තයක් ලෙස මෙන්ම, ක්‍රීඩාව වෙනුවෙන් ද ගෝලීය වශයෙන් අවධානය ලබා ගැනීම අරමුණු කර ගෙන තිබෙනවා.

>>Photo | ICA Half-A-Marathon 2024 – Launch and Press Conference

මේ අනුව මැරතන් තරගය ගාලු මුව දොරින් ආරම්භ වී ගාලු පාර, Marine Drive වැනි ප්‍රදේශ ද ඇතුළුව කොළඹ විශේෂ ස්ථාන රැසක් ආවරණය කරමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අර්ධ මැරතන් තරගය (21.0975Km) එදින උදෑසන 5.00ට ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම කිලෝමීටර් 10කින් සමන්විත Challengers Run තරගය උදෑසන 5.30ටත්, කිලෝමීටර් 5කින් සමන්විත Family Run තරගය උදෑසන 6.00ටත් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

මේ අනුව මෙම ඉසව් සඳහා සහභාගී වන්නන්ට තම හැකියාව පරිදි තරගය තෝරා ගැනීමේ අවස්ථාව ද උදා වනු ඇති.

එමෙන්ම සියලු තරගකරුවන් සඳහා උදෑසන ආහාරය ද සැපයීමට තරග සංවිධායකවරුන් පියවර ගනු ඇති.

තරග ජයග්‍රාහකයින් සඳහා විශේෂ ත්‍යාග මුදල් ද වෙන් කර ඇති අතර, ඒ අනුව පළමු ස්ථානය සඳහා රුපියල් 1,000,000ක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් 500,000ක් මෙන්ම තෙවැනි ස්ථානය සඳහා රුපියල් 200,000ක් ලබා දීමට නියමිතයි.

එමෙන්ම තරගයට සහභාගී වන සියලු තරගකරුවන්ට සහතික පත්‍රයක් සහ පදක්කමක් පිරිනැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම තරග තොරතුරු සියල්ල ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<