පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට ශ්‍රී ලාංකිකයින් නැවතත් යුද බියෙන් ඇලලී ගියේ මිනිස් ජීවිත 250කට අධික පිරිසකට මරණය කැඳවමින් සහ 500කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත්කළ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි.
සාමාන්‍ය ජන ජීවිතයට පමණක් නොව රටක ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් ඇති කරන මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයන් ගණනාවක් ඉතිහාසය පිරික්සීමේ දී හමුවන අතර එවැනි ත්‍රස්ත ප්‍රහාර ක්‍රිකට් පිටියට එල්ල කළේ කුමන බලපෑම් දැයි මේ ලිපිය හරහා සොයා බලමු.
>>1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය<<
ඉන්දීය කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය – 1984
1984 වසරේ ඔක්තෝබර් 12 වැනිදා සිට නොවැම්බර් 9 වැනිදා දක්වා පාකිස්තානයේ දී පැවති මෙම තරගාවලිය සඳහා එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග 3ක් ඇතුලත්ව තිබුණි.
ටෙස්ට් තරගාවලියේ තරග තුනම ප්‍රතිඵලයක් රහිතව අවසන් වන විට එක් එක්දින තරගයක් ලකුණු 46කින් ජය ගැනීමට පාකිස්තානය සමත් විය. කෙසේ නමුත් ඉන්දියාවේ තෙවන අග්‍රාමාත්‍යවරයා හා පළමු අග්‍රාමාත්‍යවරිය වන ඉන්දිරා ගාන්ධිගේ ඝාතනය නිසා ඉන්දීය රජය විසින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඉන්දීය ක්‍රිකට් බලධාරීන් හා පකිස්තානු ක්‍රිකට් බලධාරීන්ගේ තීරණයෙන් තරගාවලිය අතර මැද නවතා දැමීමට තීරණය විය.
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – 1987
ශ්‍රී ලංකාව සමඟ පමණක් තරග වැදීම වෙනුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි දෙවන අවස්ථාව මෙයයි. මෙම තරගාවලිය සඳහා ඔවුන් මෙරට සංචාරය කරන්නේ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් හා තරග 4කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා වුවත්, එම සංචාරය සාර්ථකව නිමා කිරීමට එල්. ටී. ටී ත්‍රස්තවාදීන් අවස්ථාව ලබා දෙන්නේ නැත.
1987 අප්‍රේල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ක්‍රිකට් සමාජ පිටියේ පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඉන්පසුව කණ්ඩායම් දෙකම මහනුවර අස්ගිරිය ක්‍රිකට් පිටිය බලා යාමට සූදානම් වුවත් අප්‍රේල් මස 21 වැනිදා කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පලේ දී පුපුරා ගිය කිලෝග්‍රෑම් 36ක අධිබලැති මෝටර් රථ බෝම්බය නිසාවෙන් භීතියට පත්වූ නවසීලන්ත කණ්ඩායම තරගාවලිය අත්හැරදමා වහාම ශ්‍රී ලංකාවෙන් පිටත් විය. එම බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් මිනිසුන් 113ක් පමණ ජීවිතක්ෂයට පත්විය.
“අපේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වගේම අපේ රටේ මිනිසුන් පවා මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් දැඩි ලෙස කම්පා වුනා, ඒ වගේම දැඩි භීතියට පත්වුනා. කියන්න කනගාටුයි අපි මේ ශ්‍රී ලංකා සංචාරයට පැමිණියේ ටෙස්ට් තරග 3කට හා එක්දින තරග 4කට, නමුත් මේ ඇතිවුණු හදිසි තත්වය නිසා අපේ කණ්ඩායම තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම එතරම් සුබදායී කියල මම හිතන්නේ නැහැ.” එවකට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළ කෙන් ඩාස් මහතා පවසා මාධ්‍ය වෙත පවසා තිබුණි.
>>තවත් ප්‍රබල රටවල් දෙකකට ජාත්‍යන්තර එක්දින වරම්
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – 1992
1992 නොවැම්බර් මස 16 වැනිදා කොළඹ නගරයට එල්ල වුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා මිනිසුන් රැසකගේ ජීවිත අහිමි විය.
එදින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම එක්දින තරග 3කට හා ටෙස්ට් තරග 2ක් වෙනුවෙන් දිවයිනට පැමිණෙමින් සිටි අතර ඔවුන්ගේ ආරක්ෂාව දැඩි කොට කොළඹ නගරයේ ආරක්ෂාව තර කර තිබීම නිසා නවසීලන්ත කණ්ඩායම තරග සංචාරය අවසන් කොට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට තීරණය කර තිබුණි.
නමුත් එවකට නවසීලන්ත කණ්ඩායමේ සිටි ප්‍රධාන පුහුණුකරු ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙක් ශ්‍රී ලංකාවේ රැඳී නොසිට නැවත මව් රට බලා පිටත්ව ගියේය. කෙසේ නමුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ද 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය – 2002
තරග 3කින් සමන්විත වුනු මේ තරගාවලිය සැබවින්ම පැවැත්වීමට තිබුණේ 2001 වසරේ අග භාගයේ දී වන නමුත් 2001 සැප්තැම්බර් මස 11 වැනි දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාව නිසාවෙන් එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් තැබුණා. එම බෝම්බ පිපිරීමෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වද්දී 6000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් තුවාලකරුවන් බවට පත්විය.
කෙසේ නමුත් එම ප්‍රහාරයෙන් වසරක් ගත වීමටත් පෙර 2002 අප්‍රේල් 21 වැනිදා සිට 2002 මැයි මස 12 වැනිදා දක්වා එක්දින තරග තුනකට හා ටෙස්ට් තරග 2කට සහභාගී වීම වෙනුවෙන් නවසීලන්තය පාකිස්තානයට පැමිණියත්, එම තරගාවලියේ දෙවන හා අවසන් එක්දින තරගය ක්‍රීඩා කිරීමට ඉඩකඩ ලැබුණේ නැත.
ඒ 2002 මැයි මස 8 වැනිදා දින (ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව තිබූ දින උදෑසන) කරච්චි නුවර බස් රථයක් තුල හදිසි පිපිරීමක් සිදු වීම නිසාවෙනි. කෙසේ නමුත් තරගාවලිය නවතා දමන විට එක්දින තරගාවලිය 3-0ක් ලෙස සත්කාරක පාකිස්තානය ජයගෙන සිටි අතර ටෙස්ට් තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේ ද පාකිස්තානයයි.
“දෙවියන්ට ස්තුති වන්නට සියලුම ක්‍රීඩකයින් හා නිලධාරීන්ට කිසිදු කරදරයක් වුනේ නැහැ. ඔවුන් සියලුම දෙනා ආරක්ෂිතව ඉන්නවා. පාකිස්තාන තුල මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම එතරම් සුබදායි නැහැ. අපේ කණ්ඩායම් දෙකම ඒකමතිකව තීරණය කළා මේ තරගාවලිය නවතා දමන්නට.” යැයි එවකට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක වකාර් යූනිස් අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා සිටියා.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය – 2006
ටෙස්ට් තරග දෙකකින් හා පුහුණු තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා ඈශ්වෙල් ප්‍රින්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමක් 2006 ජූලි මස දෙවන සතියේ පමණ ශ්‍රී ලංකාවට පැමිණියේය.
පෙර සැලසුම් කර තිබූ පරිදි තරගාවලියේ තරග සියල්ලම ක්‍රීඩා කිරීමට හැකි වීම නිසා ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය.
තරගාවලිය අවසන් වීමත් සමඟම යුනිටෙච් (Unitech) කුසලානය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණ ද, අගෝස්තු 14 වැනිදා කොළඹ නගරයේ දී බෝම්බයක් පුපුරා යමත් සමඟ දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය මව් රට බලා පිටත්ව යාමට තීරණය කරන ලදි.
“කොයි දේ වුනත් අපි හැම විටම සියලුම ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන, ඒගොල්ලන්ව රැකගන්න අපටත් ලොකු වගකීමක් තියෙනවා. අපිට ශ්‍රී ලංකාව සමඟ ඉතාමත් හොඳ සමීප සබඳතාවයක් තියෙනවා. අපි ඒක නැති වෙනවාට කොහෙත්ම කැමති නැහැ.” යැයි එවකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ජෙරල්ඩ් මජෝලා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.
එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය – 2008
2008 නොවැම්බර් 26 දින ඉන්දියාවේ මුම්බායි නගරය පුරාවට ත්‍රස්තවාදී පිපිරීම් රැසක් සිදු වූ අතර එමගින් නිරායුද මිනිසුන් 180ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටියේ ඉන්දියාවේ කතක් ප්‍රදේශයේයි. (ඉන්දීය – එංගලන්ත 5 වැනි එක්දින ක්‍රිකට් තරගය ඒ වන විට පැවැත්වෙමින් තිබුණි).
ටෙස්ට් තරග දෙකකින් හා එක්දින තරග 7කින් සමන්විත වුනු එම තරගාවලියේ 5 වන තරගය ඉන්දියාව කඩුලු 6කින් ජය ගත් නමුත් එම තරගයේ ජයග්‍රහණයේ සතුට නිසියාකාරව සැමරීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබුණේ නැත.
ඉන්දියාව තුල ඇතිවූ හදිසි අනාරක්ෂිත බව නිසාවෙන් අවසන් එක්දින තරග දෙක නොපැවැත්වීමට දෙරටේ බලධාරීන් තීරණය කළ අතර දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මුම්බායි හිදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඒ තරගය චෙන්නායි ක්‍රිකට් ක්‍රීඩා පිටියට රැගෙන යාමට තරග සංවිධායකයින්ට සිදු විය. කෙසේ නමුත් ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස හා එක්දින තරගාවලිය 5-0ක් ලෙස ජය ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට හැකි විය.
>>ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණු කඳවුරු තහනම්!
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය – 2008/09
ශ්‍රී ලංකා කණ්ඩායම මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරයක නිරතව සිටිය දී 2009 මාර්තු 03 වැනිදා උදෑසනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැගත් බස් රථය ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය බලා පැමිණෙමින් තිබූ අතර ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙමින් තිබූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය විය. 1996 වසරේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ලෝක කුසලානය හිමිකර දුන් ගඩාෆි ක්‍රීඩාංගණයට ළඟා වීමට මීටර කිහිපයක් තිබිය දී ත්‍රස්ත ප්‍රහාරකයට ලක්විය.
එහි දී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර තිලාන් සමරවීර, උපනායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස්, සුරංග ලක්මාල් සහ නායක මහේලට සුලු තුවාල සිදු වුනත් වාසනාවකට සහ කණ්ඩායම ගමන් ගත් බස් රථ රියදුරාගේ දක්ෂතාවය නිසාවෙන් බස් රථයේ සිටි කිසිවෙකුට ජීවිත හානියක් සිදු වූයේ නැත. අනතුරුව එරට ආරක්ෂක තත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකාව තරගාවලිය අතහැර දමා විශේෂ ගුවන් යානයකින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව පිළිබඳව පාකිස්තානු ආරක්ෂක අංශවලටත්, එරට රජයටත් සෙසු රටවල්වලින් දැඩි විවේචන එල්ල වුවත්, එකල ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටි ශ්‍රී ලංකාව පවසා සිටියේ, මෙම ප්‍රහාරයෙන් දෙරට අතර පවතින මිතුදමට හානියක් සිදු නොවන බවත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් රටක් වශයෙන් අප අවබෝධයෙන් සිටින බවත් ය.
මංගල ටෙස්ට් තරගාවලිය සඳහා 2009 වසරේ දී පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ තරංග පරණවිතානට අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වූයේ වෙඩි වැදුණු ක්‍රීඩකයෙක් ලෙසයි.
“බුලට් එකක් වැදුණා පපුවට. හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, වාසනාවකට උණ්ඩය සිරුර පසාරු කරන් එළියට ගිහිල්ලා තිබුණේ නැහැ.”
“එතකොටම වාස් අයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරාට go, go (යන්න, යන්න) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටිය නම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ.”
“ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කා වටෙන් වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එන කොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා,” යනුවෙන් තරංග පරණවිතාන තමන්ට එදා එල්ල වූ ප්‍රහාරය ගැන වසර 8කට පසු ආවර්ජනය කරමින් මීට වසර දෙකකට පෙර එක්තරා මාධ්‍යයකට සිය අත්දැකීම විස්තර කර තිබුණේ එසේයි. මෙම ප්‍රහාරය සහ එහි කම්පනය ජීවිත කාලයටම අමතක නොවනු ඇති බව තරංග පරණවිතාන වැඩිදුරටත් පවසා තිබුණි.
මෙම ප්‍රහාරයෙන් තිලාන් සමරවීර ද බරපතළ ලෙස තුවාල ලැබීය.
ඉන් අනතුරුව ආරක්ෂක හේතුන් මත සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අතර එදා මෙදා තුර පාකිස්තානයේ සංචාරය කර තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පමණයි.
බංග්ලාදේශ කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය – 2019
නවසීලන්ත සංචාරයක නිරත වී සිටි බංගලාදේශ කණ්ඩායම ක්‍රයිස්ට්චර්ච් හි මාර්තු මස 15 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනූ නාමයෙන් දිවි ගලවා ගැනීමට සමත්ව විය. එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් වන අතර ප්‍රහාරය එල්ල වූ දින සිකුරාදා දිනයක් නිසාවෙන් බංගලාදේශ ක්‍රීඩකයන් ද සිකුරාදා දේව මෙහෙයන් වලට සහභාගී වීම සඳහා එම දේවස්ථානයට පැමිණෙමින් තිබුණි.
ක්‍රීඩකයන් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටිය දී ඔවුන් විසින් අනතුරක සේයා දුටු අතර පසුව ඔවුන්ට බස් රථයෙන් බැස යාම ද මොහොතකට තහනම් විය. එහෙත් හැග්ලි උද්‍යානය හරහා ඔවුන්ට ඉක්මනින්ම ක්‍රීඩාංගණය වෙත දිව යෑමට සිදු වූ අතර පසුව ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පිටත් කර යවා තිබුණි.
මෙය “නවසීලන්තයේ අඳුරුතම දිනයක්” යැයි නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් මහත්මිය මාධ්‍ය අමතමින් ලොවට පැවසීය.
එක්දින හා ටෙස්ට් තරග 3කට සහභාගී වන්නට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි අතර එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට නවසිලන්තය සමත් විය. එසේම තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක ද ජයග්‍රහණය කළේ නවසීලන්ත කණ්ඩායම වුවත් ඇතිවූ හදිසි තත්වය නිසා දෙරට අතර පැවැත්වීමට තිබූ තෙවන ටෙස්ට් තරගය අත්හැර දැමුණි.
>>අසරණ මොහොතක උදව්වට ආ අසල්වැසියෝ
මේ සිදුවීම්වලට අමතරව 1996 ලෝක කුසලානය ආරම්භ වීමට හරියටම සති දෙකකට පෙර කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල අසල එල්. ටී. ටී විසින් දැවැන්ත බෝම්බ පිපිරුමක් සිදු කළේය.
ජීවිත 91ක් බිළි ගත් මෙම ප්‍රහාරයෙන් මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගවලට සිදු වූ බලපෑම සුළුපටු නොවේ. ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් පැවැත්වුණ එවර ලෝක කුසලානයේ තරග හතරක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය අයහපත් බව පවසමින් ඕස්ට්‍රේලියානුවන් හා කොදෙව්වන් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කළ අතර අසල්වැසි ඉන්දියාව හා පාකිස්තානය ශ්‍රී ලංකාවට සවියක් වන්නට එදා පෙරට ආවේ නැති නම් 1996 ලෝක කුසලාන ජයග්‍රහණය යථාර්ථයක් නොවීමට වැඩි ඉඩකඩක් පැවතිණි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<