මම කැමතියි දඟ පන්දුවට මුහුණදීම පිලිබඳව මුලින්ම දැනගන්න. පන්දුව දඟ කැවෙන විට හොඳ පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයේ විශේෂ ලක්ෂණ මොනවාද?
එවැනි ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. පළවෙනි දේ තමයි හොඳ ආරක්ෂාකාරී පහර එල්ල කිරීම. හොඳ පිතිකරුවන් පා ආවරණයට වඩා පිත්තෙන් පන්දුව පිළිගැනීමට නැඹුරු වෙනවා. ඒ වගේම ඔවුන් පන්දුව පතිත වන දුර නිවැරදිව තීරණය කර ගන්නවා. ඉදිරි පාදයේ පහරක් එල්ල කරනවා නම් සම්පූර්ණ ඉදිරියටත් පසුපාදයේ පහරක් නම් කඩුල්ල අසලටමත් පාද හැසිරවීම දඟ කැවෙන තණතිල්ලක ඉතාමත් වැදගත්, ඉක්මනින් පන්දුව පතිත වන ස්ථානය තීරණය කරගෙන ඒ සමගම ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් බොහෝ දෙනෙක් ඉතාම හොඳින් ස්වීප් පහර එල්ල කරනවා, දඟ පන්දුවට එරෙහිව එය ඉතාමත් ප්‍රයෝජනවත් පහරක්. දැන් රිවර්ස් ස්වීප් පහර වඩාත් ප්‍රයෝජනවත්.
පරණ කාලේ රිවර්ස් ස්වීප් පහර එතරම් ප්‍රචලිත වෙලා තිබුනේ නැහැ. නමුත් ඒ කාලේ දඟ පන්දුවට විශිෂ්ට ලෙස මුහුණ දුන් ක්‍රීඩකයෝ හිටියා – අර්ජුණ රණතුංග මම දැකපු හොඳම ක්‍රීඩකයෙක්, පාකිස්තානයේ සලීම් මලික්, රාහුල් ද්‍රාවිඩ්, ලක්ෂ්මන් වගේම අනිවාර්යයෙන්ම සචින් – ඔබ දැකලා ඇති ඔවුන් කොතරම් දිගෑදෙමින් පහර එල්ල කරනවාද කියලා, විශේෂයෙන්ම ඉදිරි පා ආවරණයෙන් පන්දුව පිළිගැනීමේදී. මොකද ඒ දිනවල ඔබ වැඩිපුර දිගෑදිලා සිටියොත් විනිසුරුවන් කඩුල්ල මුවා කිරීමේ තීරණ ලබා දීමට මැලි වුනා. නමුත් දැන් එහෙම නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම දිගෑදිලා සිටියදී පන්දුව ඉදිරි පාදයේ වැදුනත් ඔබට එරෙහිව කඩුල්ල මුවා කිරීමේ තීරණයක් ලැබිය හැකියි.
හොඳම එක්දින ජාත්‍යන්තර පිතිකරණයන් 10
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ රටාව, ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සිත්ගන්නට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ එහි පිතිකරණ අංශයයි..
ඔබ ආරක්ෂාකාරී පහර එල්ල කරන්නේ පා ආවරණයට ඉදිරියෙන් පිත්ත රඳවාගෙනද? එහෙම නැත්තම් පා ආවරණයට පැත්තෙන් තබාගෙනද?
එය රඳා පවතින්නේ පන්දුව කොතරම් දඟ කැවෙනවාද යන කරුණ මතයි. බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ පා ආවරණයට වඩා මදක් ඉදිරියෙන් පිත්ත රඳවාගෙන. එවිට පන්දුව පා ආවරණයේ වැදීමේ අවස්ථාව අඩු වෙනවා. නමුත් තණතිල්ල පරණ වෙලා පන්දු යවන්නන් පිට ඉන්නට පිටතින් පන්දුව යොමු කරනවා නම් පිත්ත සහ පා ආවරණය සමාන්තර මට්ටමකට ගෙන එනවා, මොකද එවැනි අවස්ථා වලදී පන්දුව දඟ කැවී පා ආවරණයේ වැදුනත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමේ අවදානම අඩුයි.
අපි කුඩා කාලයේදී අපිට උගන්වලා තියෙන්නේ ආරක්ෂාකාරී පහර එල්ල කිරීමේදී පිත්ත සහ පා ආවරණය එක ලඟ තබා ගන්නා ලෙසයි. නමුත් තවදුරටත් එහෙම කියන්නේ නැහැ.
ක්‍රීඩාව දැන් පරිනාමය වෙලා. මේ යුගයේ පිතිකරුවන් වේග පන්දුවට මුහුණ දෙන විට ඉන්නවාට වඩා පුළුල් ඉරියව්වක් දඟ පන්දුවට මුහුණ දීම සඳහා භාවිත කරනවා. ඒ සඳහා ඔවුන් දිගෑදෙන විට ඔවුන්ගේ සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය පහතට එනවා, ඒ වගේම හිස පහල මට්ටමකට පැමිණෙනවා. එමනිසා ඔවුන්ට පහසුවෙන් පන්දුව පතිත වන දුර මැන ගැනීමේ හැකියාව ලැබෙනවා. දඟ පන්දුවට විශිෂ්ට ලෙස ක්‍රීඩා කරන ඇතැම් ක්‍රීඩකයන් නිරතුරුවම පන්දුව අසලට පාද චලනය ප්‍රයෝජනයට ගන්නවා නමුත් එවැනිම විශිෂ්ට ක්‍රීඩකයන් තවත් පිරිසක් වැඩිය පාද චලන භාවිත කරන්නේ නැහැ.
ලක්ෂ්මන් (VVS – ඉන්දියාවේ) දිහා බැලුවොත්, බොහෝ අවස්ථා වල ඔහු පන්දුවට පහර දෙන්නේ තමන්ගේ සීමාව තුල සිටිමින්. නමුත් අවශ්‍යතාවක් ඇති වුනු විට ඔහු සීමාවෙන් ඉවතට පැමිණ පහර එල්ල කිරීමට මැලි වන්නේ නැහැ. ඒ වගේමයි එවැනි ක්‍රීඩකයන් ඉදිරියට පැමිණීමේදී ස්ටම්ප් කිරීමකට හසු වෙයි කියලා දෙගිඩියාවෙන් පහර එල්ල කරන්නෙත් නැහැ, මොකද ඔවුන් තුල ස්වයං විශ්වාසයක් තිබෙනවා පන්දුව පතිත වන ස්ථානයට ලඟා වීමට හැකියාව ඇති බවට.
Video: “ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව, වෘත්තීමය ක්‍රීඩාවක් නෙමෙයි” – ෂෙහාන් අඹේපිටිය
2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 රන් පදක්කම දිනා ගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වු ෂෙහාන් අබේපිටිය…
තවත් වැදගත් දෙයක් තමයි, ඔවුන් නිරතුරුවම පැති මාරු කිරීම සඳහා තම මැණික් කටුව ආධාරයෙන් පන්දුව ක්‍රීඩකයන් නොමැති ස්ථාන කරා යොමු කිරීම. එමගින් ඔවුන් එක දිගටම පිතිකරණ අන්තයේ රැඳී සිටීමේ පීඩනය වලක්වා ගන්නවා. හොඳම ක්‍රීඩකයන් සමහර විට දිගු කාලයක් පුරා දඟ කැවෙන පන්දුවට පුළුවන් අයයි. පන්දුව දඟ කැවෙන දෙසට, පා ඉන්න ප්‍රදේශයට පහර දෙනවා. තවත් අවස්ථා වලදී විශිෂ්ටම ක්‍රීඩකයන් හට හැකියාව තිබෙනවා පන්දුවේ දඟ කැවීමට විරුද්ධ දෙසටත් පහර එල්ල කරන්නට. පිටදඟ පන්දු යවන්නෙක් දකුණත් පිතිකරුවෙක් හට කඩුල්ල තුලට තියුණු ලෙස දඟ කැවෙන ආකාරයේ පන්දු යවද්දී වුවත්, පන්දුව තරමක් ඉදිරියෙන් පතිත වූ විට ඔබේ අවධානය සහ කැපවීම තිබේ නම් දඟ කැවීමට විරුද්ධව එක්ස්ට්‍රා කවර් කලාපයේ ඇති හිඩැස වෙත පහර එල්ල කරන්න පුළුවන්.
මේ හැම දෙයක්ම හොඳ පිතිකරුවෙකුගේ ඉතා වැදගත් ලක්ෂණ. නමුත් මේ සියල්ල ආරම්භ වන්නේ නොබියව ආරක්ෂාකාරී පහර එල්ල කිරීම සමගයි. පිතිකරුවෙකුට මනා පාලනයකින් යුතුව පෙර පාදයේ සහ පසු පාදයේ ආරක්ෂාකාරී පහර එල්ල කරන්නට හැකිනම් එය ඕනෑම දඟ පන්දු යවන්නෙකුගේ මානසික ශක්තිය බිඳ දමන්නට හැකි කරුණක්.
එය ඉලක්කගත ප්‍රකාශයක්..?
අනිවාර්යයෙන්ම. නූතන යුගයේ හොඳ පිතිකරුවන් සියලු දෙනාගේම පාහේ මෙම ලක්ෂණ දකින්න පුළුවන්. විරාත් කෝලි හොඳ උදාහරණයක්. මහේල ජයවර්ධන විශිෂ්ට උදාහරණයක් නූතන පිතිකරුවන් අතර හොඳින්ම දඟ පන්දු යවන්නන්ට පහර දෙන පිතිකරුවෙකුට. ලක්ෂ්මන් සහ ද්‍රාවිඩ් 2001 වසරේ කොල්කටා නුවරදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ගොඩනගපු සබඳතාවයේ දී ෂේන් වෝන් තණතීරුවේ කඩතොළු සහිත පන්දුව පතිත කරමින් විශාල ලෙස දඟ කවද්දී වුනත් ඔවුන් දෙදෙනා ඊට විරුද්ධ දිශාවට නිරතුරුවම පහර එල්ල කලේ නිසි පාද හැසිරවීම උපයෝගී කරගෙනයි. ඔවුන් ලකුණු සඳහා ස්ථාන හොයාගත්තා. මට මතකයි බ්‍රයන් ලාරා මුරලිදරන්ට එරෙහිව පන්දුවට පහරදුන් ආකාරය.
හොඳම එක්දින ජාත්‍යන්තර පන්දු යැවීම් 10
දිනය 1971 ජනවාරි 05. එවකට පැවති එකම ජාත්‍යන්තර ක්‍රිකට් රටාව වූ “ටෙස්ට් තරඟයක්” සඳහා ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් සහභාගී වන්නට නියමිතව තිබුණද වර්ෂාව නිසා ප්‍රථම දින තුනම සේදී ගියේය..
මුරලි කිවුවා ඔහු තමයි තමන්ට පන්දු යවන්න අපහසුම වුනු ක්‍රීඩකයා කියලා.
ඔව්, ඊට සරලම හේතුව තමයි, ඒ කාලේ මුරලි වමත් පිතිකරුවන්ට පන්දු යැවුවේ මිඩ් ඕන් කලාපය විවෘතව තබාගෙනයි. මොකද ඔවුන්ට බැහැ එම ප්‍රදේශයට පහර එල්ල කරන්න. හැබැයි බ්‍රයන් ලාරා මුරලිගේ පන්දුවේ දඟ කැවීමට එරෙහිව මිඩ්-ඕන් කලාපය හරහා දිගින් දිගටම පහර එල්ල කළා. එය මුරලිට මානසික පීඩනයක් වුනා. එවන් හැකියාවක් තියෙන්නේ ක්‍රීඩකයන් අතලොස්සකට පමණයි.
මම කැමතියි ස්වීප් පහර ගැන නැවතත් විමසන්නට. ඔබ පන්දුව එන්න කලින් තීරණය කරනවද ස්වීප් පහරක් එල්ල කරනවා කියලා. ? ඒ වගේම පන්දුව පතිත වන ස්ථානය සහ එල්ලය බලලද ඔබ පහර එල්ල කරන්නේ?
මම දැක තිබෙනවා උප මහද්වීපික ක්‍රීඩාංගන වලදී යුනිස් ඛාන් ස්වීප් පහර එල්ල කරන ආකාරය. ඔබ දැක ඇති පන්දු යවන්නා අතින් පන්දුව ගිලිහෙන්න මොහොතකට පෙර ඔහුගේ පෙර පාදය ඉදිරියට යන හැටි. එය පන්දුව එන්න කලින් ගත් තීරණයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි, ඔබ එම පහර එල්ල කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා නම්, පන්දුව කුමන ස්ථානයක පතිත වුනත් ස්වීප් පහරක් එල්ල කල යුතුයි. පන්දුව එන අතර ඔබ අදහස වෙනස් කලොත් අනිවාර්යයෙන්ම ඔබ අමාරුවේ වැටෙනවා. යුනිස් ඛාන් පහර එල්ල කරද්දී ඔහුගේ හිස යටට පන්දුව පැමිණෙන තුරු සිටිනවා. ඔහුගේ හිස හරියටම ඉදිරි පාදයේ දණහිසට ඉහලින් ස්ථාන ගත වෙලා තිබෙනවා. එමනිසා පන්දුව වඩාත් ලඟින් පතිත වුනත් නියම පාලනයකින් යුතුව පහර එල්ල කරන්න ඔහුට හැකියි. ඔහුට පන්දුව පතිත වන ස්ථානය හෝ පන්දුව පැමිණෙන මාර්ගය පිලිබඳ ගැටළුවක් නැහැ. මොකද ඔහු, තමන්ට පන්දුවට පහරක් එල්ල කල හැකි බවට විශ්වාසයක් තිබෙනවා.
එතකොට ඔබ ?
මම ස්වීප් පහර එල්ල කිරීමට ඉතාම දුර්වලයි. මම සාමාන්‍යයෙන් ස්වීප් පහර එල්ල කරන්නේ වමත් දඟ පන්දු යවන්නට සහ පාදඟ පන්දු යවන්නන්ට. පිට ඉන්නට පිටතින් එන පන්දුවක් නම් මම පහතින් සහ වේගයෙන් ස්වීප් පහරක් නැතිනම් ස්ලොග් ස්වීප් පහරක් එල්ල කරනවා. ෆයින් ලෙග් කලාපයේ ක්‍රීඩකයෙක් නොමැති නම් මම පැඩ්ල් ස්වීප් පහරක් එල්ල කරනවා. පිටදඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන විට මම බලා සිටිනවා ඔවුන් පිට ඉන්නට පිටින් පන්දුව පතිත කරන තුරු. එවිට මට පුළුවන් ස්ලොග් ස්වීප් පහරක් හෝ පහතින් ඇදීයන ලෙස ස්වීප් පහරක් එල්ල කරන්න. එහෙමත් නැතිව පන්දුව පා ඉන්නට පිටතින් පතිත වුනොත් මම සියුම් පහරකින් පන්දුව යොමු කරනවා.
ඔබ පන්දුවට පහරදීමේදී, කිරීමෙන් ගැලවීම සඳහා පිට ඉන්න (off-stump guard) ලබා ගන්නවද?
එය තීරණය වන්නේ ඔවුන් පන්දු යවන්නේ කුමන ස්ථානයක සිටද යන්න මතයි. පන්දුව දඟ කැවෙන්නේ නැතිනම් මම මැද ඉන්නේ සිට පන්දුවට පහර දෙනවා. මොකද මම කැමතියි පන්දුවේ දඟ කැවීමත් සමග මිඩ්-විකට් කලාපය දෙසට පහර දෙන්න. නමුත් පන්දුව වඩාත් ඉදිරියෙන් පතිත වුනොත් මම පහර එල්ල කරන්නේ එක්ස්ට්‍රා-කවර් කලාපය හරහායි. එය මට හුරු පුරුදු ලකුණු ලබා ගැනීමේ ස්ථානයක්.
“මාලිංග එනවා නම් මම තරම් සතුටු වෙන කිසි කෙනෙක් නැහැ” – සනත්
සනත් ජයසුරිය යනු ශ්‍රී ලංකාව තුළ බිහිවු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනාගේ නම් ලැයිස්තුවේ ඉහලම නම් තුන හතර ඇතුලත අනිවාර්යයෙන්ම සඳහන් වන නමකි….
එතකොට දඟ පන්දුවට එරෙහිව?
ඔව්. පන්දුව පතිත වන ස්ථානයට ගියොත් ඔබට පුළුවන් පන්දුවේ දඟ කැවීම පාලනය කර ගන්නට. ඔහු වටෙන් පැමිණ (Round the Wicket) පන්දු යවනවා නම් මම තරමක් මැද ඉන්න සහ පිට ඉන්න අතර ස්ථානයක සිට ක්‍රීඩා කරයි. එතන සිට මිඩ්-ඕන් කලාපයට ඉහලින් පහර එල්ල කිරීමට උත්සාහ කරනවා. එසේ පහර දුන් විට ප්‍රතිවාදීන් මිඩ්-ඕන් ක්‍රීඩකයාව පසුපසට ගෙන යනවා. එවිට මට පුළුවන් පහසුවෙන්ම මිඩ්-ඕන් කලාපය හරහා තනි ලකුණු ලබා ගන්න.
අනෙක් පිතිකරුවන්ට වඩා, විශිෂ්ට පිතිකරුවන්ට පන්දුව පතිත වන දුර පිලිබඳ උපකල්පනය කිරීමේ හැකියාවක් තිබේද?
බොහොමයක් විශිෂ්ට ක්‍රීඩකයන් දඟ පන්දුවට මුහුණ දීමේ සහජ කුසලතාවක් ඇති අයයි. ඔවුන් ස්වීප් පහර එල්ල කරන්න දක්ෂයි. ඔවුන්ට ඉතා සුනම්‍ය මැණික් කටුවක් තිබෙනවා. නමුත් ඔබටත් එය ඉගෙන ගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ සීමාවෙන් ඉදිරියට පැමිණෙන ක්‍රමය අවබෝධ කර ගැනීමයි. කෙසේද? කුමන අවස්ථාවේදී ද? යන කරුණු ඒකාත්මිකව අදාළ පන්දුවට ක්‍රියාත්මක කිරීමයි. එසේම එම උත්සාහයේදී ඔබව ස්ටම්ප් කිරීමකට හසු නොවේය යන බිය නැති කර ගත යුතුයි. බිය කියනදේ සැමවිටම නැති කර ගන්නට උත්සාහ කල යුතු දෙයක්. දැවී යාමට ඇති බය, වරදක් සිදුවෙයි කියන බය, මේවගේ බය හිතේ තබාගෙන සිටියොත් ඉගෙනගන්නත් දස්කම් වර්ධනය කර ගන්නත් ඉතාම අමාරුයි.
ඔබ පිටියට පැමිණි වහාම හිතන දේවල් තියනවාද? උදාහරණයක් ලෙස මෙතනින් තමයි මට හතරේ පහරක් එල්ල කරන්න පුළුවන් වගේ. ඔබ පළමු පන්දුවේ ඉඳලම කල්පනා කරනවාද? නැතිනම් පළමු පන්දු කිහිපය සම්පූර්ණයෙන්ම පන්දුයවන්නාට අයිතියි ද?
එයත් අවස්ථාව මත රඳා පවතිනවා. සමහර විට මම හිතනවා මේ පීඩනය ප්‍රතිවාදීන් වෙත යොමු කල යුතු අවස්ථාවක් කියලා. එය සමහර විට මම මුහුණ දෙන පළමු පන්දු 6 තුල සිදු විය හැකියි. නමුත් සාමාන්‍යයෙන් සිදුවන්නේ පන්දුවේ දඟ කැවීමත් සමග පන්දුව නිදහස් කලාප වෙත යොමු කර තනි ලකුණු මගින් පැති මාරු කර ගැනීමයි. වමත් හෝ පා දඟ පන්දු යවන්නෙක් නම් මම පාද හැසිරවීමෙන් ලකුණු ලබා ගන්නවා. පිට දඟ පන්දු යවන්නෙක් පන්දු යවනවා නම් තණතීරුවේ හැසිරීම අධ්‍යනය කරලා තමයි, ලකුණු කරා යා යුත්තේ. මට මතකයි සයීඩ් අජ්මාල් හට මුහුණ දීමේදී මම සීමා ඉරෙන් පිටතට පැමිණෙන්නේ නැති තරම්. මොකද ඔහු පන්දුව යැවීමට පෙර මොහොතක් නතර වෙන නිසා පිතිකරු ඉදිරියට පැමිණෙනවා දුටුවොත් පන්දුව පතිත කරන ස්ථානය වෙනස් කරන්න ඔහුට හැකියාව තිබෙන නිසා. ඉතින් මම මගේ ආරක්ෂිත පහර පිලිබඳව විශ්වාස කරලා ඔහුට කට් සහ ඩ්‍රයිව් පහර එල්ල කරනවා. පන්දු යවන්නෙක් දුටු සැනින්ම ඔබේ උපවිඥානය මගින් දැනුම් දෙනවා ඔහුට පහර එල්ල කරන්නේ කොහොමද කියලා.
ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ පිපෙන කුසුම කුසල් මෙන්ඩිස්
ඔබ මුරලිට ලක්ෂ සංඛ්‍යාත වරක් මුහුණ දීලා ඇති. නමුත් ඒ පුහුණු තණතීරු වල මිසක් තරග බිමේදී නෙමෙයි. ඉතින් අපි වෝන් ගැන කතා කරමු. ඔහුට එරෙහිව ක්‍රීඩා කිරීමේදී ඔබ හැසිරෙන්නේ කොහොමද? ශාරීරිකව, ප්‍රායෝගිකව හෝ තාක්ෂණිකව නෙමෙයි – මානසිකව?
එය ඉතාමත් අභියෝගාත්මකයි. කිහිප වරක් මට හැකිවුනා ඔහුව යටපත් කරන්නට තවත් අවස්ථා වලදී ඔහුට හැකිවුනා මාව දවා ගන්නට. වෝන්ගේ ක්‍රමය තමයි ඔහු මානසික වශයෙන් අභියෝග කරනවා. ඔහු තමන්ගේ පන්දු රකින්නන් ස්ථානගත කිරීම පිලිබඳව මෙන්ම ඔබේ දුර්වලතා ලෙස ඔහු දකින දේ ගැනත් ඉහල හඬින් කතා කරනවා. එය හරියට ඔබේ යටි හිතට අභියෝගයක් කරනවා වගෙයි. එමගින් ඔහු උත්සාහ කරන්නේ ඔහු කරන්නට යන දේ ගැන නැතිව අනෙක් හැම දෙයක් ගැනම හිතන්න ඔබ යොමු කිරීම විය හැකියි. එහෙමත් නැතිනම් හරියටම ඔහු කරන්න යන දේ ඔබට දැනුම් දීමට විය හැකියි.
නමුත් ඔහුගෙන් තිබෙන විශාලම අභියෝගය තමයි ඔහු ඉතාම හොඳින් පන්දුවේ දඟ කැවීම පාලනය කිරීම. ඔහුගේ පා දඟ පන්දු විශාල දඟ කැවීමක් සමග යොමු කරන්නත්, මදක් අඩුවෙන් හෝ ඉතාම අඩුවෙන් දඟ කවන්නත් ඔහුට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔහු පන්දුව පතිත කරන ස්ථානයත් තරගයේ තත්ත්වය අනුව එය වෙනස් කරනවා.
දඟ කැවෙන පන්දුවෙන් පසු උණ්ඩයක් මෙන් ඔබේ මුහුණ හරහා පැයට සැතපුම් 90ක වේගයෙන් පියඹා යන වේගය දෙසට හැරෙමු. දැන් සීතල බ්‍රහස්පතින්දා දිනක උදේ, වසීම් එහෙම නැතිනම් ඩොනල්ඩ් හෝ වකාර් පන්දු යවන්නට දිව එනවා. ඔබ අංක 3 ස්ථානයේ පිතිකරණයේ යෙදෙන්නට පිටියට ඇවිත් සිටින්නේ. අත් ආවරණ, පපු ආවරණ, ආරක්ෂිත හිස්වැසුම් මේ සියල්ලෙන්ම සන්නද්ධ වෙලා ඔබ මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්. ඔබේ ඇතුලාන්තයේ සිදුවන්නේ කුමක්ද?
අනිවාර්යයෙන්ම දෙගිඩියාවක් තිබෙනවා. නමුත් ඒ වේගය ගැනම නෙමෙයි. වඩාත්ම පන්දුවේ දෝලනය පිළිබඳව. ඔවුන් හොඳින් පන්දු යවනවාද යන්න පිළිබඳව, තණතිල්ල හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව. ප්‍රධානම දේ තමයි පිටිය තුලට යන්න හතරේ සීමාවෙන් ඇතුලට පැමිණි විගසින් හිතේ තිබුණු දෙගිඩියාව නැති වෙනවා. ඉන් පසු කල යුත්තේ මනස සම්පූර්ණයෙන්ම හිස් කර ගැනීමයි. ‘මනස හිස් කරගෙන’ පන්දුව දෙස අවධානය යොමු කල යුතුයි. ඔබ පැය ගණනක් කරපු පුහුණුවීම් වල ආභාෂය ක්‍රියාවට නැංවීමට කාලයයි මේ. පන්දුව පිලිබඳ අධ්‍යනය කර වහාම තීරණයක් ගත යුතුයි. ඔබ එවන් අවස්ථාවක පිටියට පැමිණි විට ප්‍රධාන ඉලක්කය තමයි හැකිතාක් පිතිකරණ අන්තයෙන් ඉවත්ව සිටීම, ඉක්මන් ලකුණු මගින් පැති මාරු කර ගැනීම. සමහර අවස්ථා වලදී ඉතාමත් වේගයෙන් පන්දු යවන වකාර් යුනුස්, වසීම් අක්රම්, ඇලන් ඩොනල්ඩ්, ෂොයිබ් අක්තාර්, මිචෙල් ජොන්සන් වැනි පන්දු යවන්නන්ට මුහුණදීම තැති ගන්වනසුලු අත්දැකීමක්. ඒ වගේම ඉතාමත් අභියෝගාත්මක කාර්යයක්.
ඊළඟට ඔබ එංගලන්තයට පැමිණ ජිමී ඇන්ඩර්සන් හට මුහුණ දෙනවා, වේගය අතින් එතරම් අභියෝගයක් නැහැ. නමුත් දක්ෂතාව ඉතාම ඉහලයි. ලෝකයේ විවිධ ප්‍රදේශ වලදී මුහුණ දෙන්නට වෙන අභියෝග විවිධාකාරයි. කල යුත්තේ අභියෝගය භාරගෙන එය ආශ්වාදයක් බවට පත් කර ගැනීමයි. ඔබ පිටියට යන විට දැනෙන කෝඩුකාර හැගීම සමගින්ම පිටියට පැමිණීම. ඉන්න ලබා ගැනීම, රිද්මයට පැමිණීම, නිවැරදි කල් මැනීම තවමත් මට තිබෙනවා. විශ්‍රාම ගැනීමෙන් පසුව වුවත්, දැන් ප්‍රාන්ත තරග වලදී පවා මම පුටුවකට වෙලා ආරම්භක පිතිකරුවන් ක්‍රීඩා කරන අයුරු බලාගෙන ඉන්න අවස්ථාවේදී මට දැනෙන ඒ කෝඩුකාර හැගීම එලෙසමයි.
පළමු හතර අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන වෙස්ලි විදුහල
ඔබ ඉතාමත් අර්ථවත් වචන කිහිපයක් භාවිත කළා ” මනස හිස් කරගෙන”. එය නේද පිතිකරුවෙකුට ප්‍රගුණ කිරීමට ඇති පහසුම දේ සහ අපහසුම දේ වන්නේ?
ඔව්. එය තමයි.
ඔබ වසර 20ක් වෘත්තීයමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළා. දැන් ඔබට පුලුවන්ද පන්දුවට පහර දීමට පෙර එම අනවශ්‍ය සිතුවිලි සියල්ල සිතින් ඉවත් කරන්නට?
ඔබ පිටියට පිවිසෙන විට ඒ සඳහා කාලයක් ගත වනවා. පිටියට පිවිසෙන්නට පෙර සමහර විට ඔබ සිතයි මට වැඩිපුර ලැබෙන්නේ කඩුල්ලෙන් ඉවතට යන පන්දු යැයි කියලා. නමුත් එය රඳා පවතින්නේ පන්දු යවන්නා පන්දුව මුදා හරින ආකාරය අනුවයි. ඉතින් ඔබ පන්දුව එන්න කලින් කිසිදු තීරණයක් නොගෙන සිටීම තමයි වැදගත්. පන්දුව අධ්‍යනය කරන මානසිකත්වය හදාගෙන එය ක්‍රියාවට නගන අවස්ථාවේදී ඔබට තේරෙනවා එක වරම ඔබගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය වැඩි වෙලා කියලා.
ඔබට ඒ සඳහා විශේෂිත වූ ක්‍රමවේදයක් තියනවාද?
මට මතකයි මම මුලින්ම කණ්ඩායමට ආපු වෙලාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඩේව් වට්මෝර් අපිට කියපු දෙයක්, ‘ඔබේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය පිලිබඳ කල්පනා කරන්න. හිතන්න ඔබේ නාභිය පිළිබඳව. ඔබේ සිතුවිලි කේන්ද්‍රගත කරගන්න, ඔබව කේන්ද්‍රගත කරගන්න. දැන් හොඳින් පන්දුව අධ්‍යනය කරන්න.”
ඔබ තවමත් එම ක්‍රමය භාවිත කරනවාද?
මම කාලෙකින් මගේ නාභිය ගැන හිතලා නම් නැහැ! මගේ සරල ක්‍රමවේදය තමයි මම මටම මෙහෙම කියාගන්නවා, ” පන්දුව දිහා හොඳින් බලන්න, සමබරව සිටින්න, පන්දුව දිහා බලන්න”. ඒ වගේම ඔබ දන්නවා පළමු පන්දු වාර දෙක තුන තුලදී ඔබට අමාරුයි මනස හිස් කර ගැනීමට. සමහර දවස් තියෙනවා පිටියට යන විටම නියම මානසික ඒකාග්‍රතාවට පිවිසී සිටින්නට හැකි වන. නමුත් තවත් සමහර දින වල ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒක නිසා වෙන්න ඇති බොහෝ දෙනා කියන්නේ ඔබට යම් කාලයක් ලබාදෙන්න කියලා. කොහොම නමුත් ඔබට හැකියාව තියෙනවා මානසික ඒකාග්‍රතාව කරා යන්නට.
ඒ කියන්නේ එය ක්‍රමයෙන් වර්ධනය වන ක්‍රියාවලියක්?
එය ඔබ ක්‍රීඩා කරන ඉනිමෙන් ඉනිමට වෙනස් වෙනවා. සමහර ක්‍රීඩකයන් විශිෂ්ට ශතකයක් වාර්තා කලාට පස්සේ ඊළඟ ඉනිමේදී නොහැකිව බොහෝ කාලයක් ලත වෙනවා. මොකද ඔවුන් සමහර විට පළමු පන්දු වාර දෙක තුන තුලදී තවමත් පහුගිය ශතකය ගැන හිතමින් ඉන්නවා. එහෙමත් නැත්නම් එදා හිටපු මානසික තත්ත්වය නැවත ගොඩනගා ගන්නට උත්සාහ කරනවා. ඔවුන් තේරුම් ගන්නේ නැහැ මේක තවත් අලුත් හැගීම් තිබෙන අලුත් දිනයක් කියලා. දිනයේ තත්ත්වය මනසට ඇතුළු කරගෙන දිනයේ රිද්මයට අවතීර්ණ වීමට මනස හුරු කල විට වේගවත් ප්‍රතිචාරයක් මනසින් ලබා ගන්න පුළුවන්.
අන්න ඒ නිසා තමයි අපි පුහුණුවීම් වල යෙදෙන්නේ. එමගින් තමයි තරගයකදී නිසි මානසික මට්ටම කරා යාමට අපිට හැකියාව ලැබෙන්නේ. ඔබ ඩ්‍රයිව් පහරක්, කට් පහරක් හෝ පුල් පහරක් එල්ල කරන ක්‍රමවේදය පුහුණුවීම් මගින් ප්‍රගුන කල විට ඔබේ ශරීරය සියලු වගකීම් භාරගෙන අදාළ පන්දු පැමිණෙන විට ස්වයංක්‍රීයව මෙන් ඊට අදාළ පහර වෙත යොමු වෙනවා සිතීම සඳහා කාලය වැය කිරීමෙන් තොරවම. නමුත් එය සිදුවන්නේ ඔබ අතිශය සාර්ථක පිතිකරුවෙක් නම් පමණයි.
පිතිකරණය කෙතරම් දුරට ක්‍රීඩකයෙකුගේ ගුණාංග ප්‍රකඨ කරන මාර්ගයක්ද?
ඉහල නිපුණතාවක් තිබුණු පමණින්ම යමෙක් ඉහල සාර්ථකත්වයක් ඇති කෙනෙක් බවට පත් වන්නේ නැහැ. ඉහල කුසලතාවක් තිබු පමණින් කෙනෙක් සාර්ථක ක්‍රීඩකයෙක් වෙන්නෙත් නැහැ. එම නිපුනතා සහ හැකියාවන්, තමන්ට පිටිය මැද රැඳී සිටිමින් ඔබේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු බවට පත් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් වෙත පරිවර්තනය කර ගත යුතුයි. විවිධ ක්‍රීඩකයන් එය සිදු කරන්නේ විවිධ ක්‍රමවේදයන් මගින්. හොඳම ක්‍රීඩකයන්ට පුළුවන් නිරතුරුවම සාර්ථක වන ක්‍රමවේදයක් හරහා ලකුණු ලබා ගැනීමට. ඒ වගේම තම ක්‍රමවේදය දිනෙන් දින අලුත්වැඩියා කරමින් දිගුකාලීන සාර්ථකත්වයක් රඳවා ගැනීමට.
ස්ථාවරත්වය කියන්නේ දිනෙන් දින ඉහල යන මිනුම් දණ්ඩක්. ඔබට හැමදාම එකම දෙය කිරීම මගින් සාර්ථක වෙන්න බැහැ . එහෙම කලොත් අනිවාර්යයෙන්ම අනෙක් අය ඔබව පසු කර යනවා. ඔබ අද දවසේදී කොතරම් සාර්ථක වුනත්, ඔබ අනිවාර්යයෙන්ම අලුත් දෙයක් එකතු කර ගත යුතුමයි. එය තාක්ෂණික කරුණක්ම විය යුතු නැහැ. සමහර විට ඔබේ චිත්ත ශක්තිය විධානය වන යමක් විය හැකියි. ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් ඉදිරියටත් ඉහළටත් ගමන් කල යුතුයි. විශිෂ්ට ක්‍රීඩකයන් කියන්නේ ඒ ගමන නොනවත්වා ඉදිරියට යන අයටයි.
Alloutcricket.com සමග කුමාර් සංගක්කාර කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න