කොළඹ රාජකීය විද්‍යාලයෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම ලැබුණු වටිනාකම් අපමණ ය. ලොවට “මහා ක්‍රිකට් තරග” හඳුන්වා දුන් රාජකීය විද්‍යාලය, ලොවට නව්‍ය තාක්ෂණික ඉසව් සහ වැදගත් පාලකයන්, පරිපාලකයන් මෙන්ම යහපත් පුරවැසියන් ද නිර්මාණය කර දී ඇත.

මුල් දෙස බලා උසුළු විසුළු කරන දළු කැබලි වෙත නපුරුකම් නොපාන රාජකීය විද්‍යාලයේ බොක්සිං ඉතිහාසය ද ශ්‍රී ලංකාව බැබළවූවකි. එංගලන්තය නූතන බොක්සිං ක්‍රීඩාව හඳුන්වා දෙන 19 වැනි සියවසේ අවසන් දශකය ඉක්ම යන විටම, ඩොනල්ඩ් ඔබේසේකර නම් රාජකීයයා 1898 වන් ඈත වසරක දී කේම්බ්‍රිජ් සරසවියේ බොක්සිං ශූරතාවය දිනා ගන්නේ සියලු එංගලන්ත සහ වේල්ස් බොක්සිං ශූරයන් අභිබවමිනි.

100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් බොක්සිං තරගාවලිය සේ සැලකෙන ස්ටබ්ස් පළිහ..

එතැන් පටන් ශ්‍රී ලංකා නාමය ලෝක බොක්සිං ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වෙද්දී 1914 වසරේ දී ඩොනල්ඩ් ඔබේසේකරයන්ගේ අනුදැනුමින් ශ්‍රී ලංකාවේ පාසල් බොක්සිං ක්‍රීඩාව ඉහළ තලයකට පැමිණියේය. 1913 වසරේ සිට “ස්ටබ්ස් පළිහ” බොක්සිං තරගාවලිය ඇරඹෙන්නේ ඒ වපසරිය තුළදීයි.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාවන් රාශියක් දායාද කළ රාජකීය විදුහල පාසල් බොක්සිං ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛයා වූයේ 2017 වසර වන විට 18 වතාවක් “ස්ටබ්ස් පළිහ” ශූරතාවයන් දිනා ගනිමිනි. 1987 වසර වන විටත් ශූරතා 18ක් දිනා සිටි රාජකීයයන්ට ඉන්පසු ගත වූ 30 වසර පුරාවටම ස්ටබ්ස් ශූරතාවක් නොලැබීම නම් අරුමයකි.

84 වරක් “ස්ටබ්ස් පළිහ” තරගාවලියට සහභාගී වෙමින් ඊට වැඩිම වරක් සහභාගී වූ කණ්ඩායම බවට පත්ව ඇත්තේ ද රාජකීය විද්‍යාලයයි. එහි සියවන සැමරුම යෙදී තිබූ 2017 වසරේ දී තම 19 වැනි ශූරතාවය සනිටුහන් කළ රාජකීයයන් කිසිදා නොමැකෙන සටහනක් තැබුවේය.  

1926 වසරේ දී ජාතික බොක්සිං ශූරතාවලිය ඇරඹීම සහ 1927 වසරේ දී ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලිය ඇරඹීමේ සිට මේ දක්වා පැවැත්වෙන ජාතික මට්ටමේ සෑම බොක්සිං තරගාවලියකටම මඟ පෑදූ තරගාවලිය “ස්ටබ්ස් පළිහ” තරගාවලියයි.

1935 දී ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය පිහිටවූ අතර එහි මූලාසනය ද හිමි වූයේ එවකට රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට යි.ස්ටබ්ස් පළිහ” තරගාවලිය කෙතරම් උසස් මට්ටමක තිබුණේ ද යත්, 1958 වසරේ සිට 1965 වසර දක්වාම ඇරඹි ඉන්දු – ශ්‍රී ලංකා බොක්සිං තරගාවලිය තුළ සෑමවිටම උසස් දස්කම් පාන්නට සමත් වූයේ ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් ය. මේ වන විට 100 වරක් පවත්වා ඇති “ස්ටබ්ස් පළිහ” තරගාවලිය තුළ සිය ආධිපත්‍ය පතුරුවන්නට රාජකීය විදුහල සමත් විය.

1987 වසරේ සිට වසර 30ක් පුරාවට යම් යම් හේතු මත ශූරතා ඉඩෝරයකට හසු වූ රාජකීය බොක්සිං කණ්ඩායමට වර්ෂාවක් සේ සිසිලස දෙන්නට රාජකීය විද්‍යාලයීය 2017 බොක්සිං කණ්ඩායම සමත් වූයේ 19 වැනි “ස්ටබ්ස් පළිහ” ශූරතාවය දිනා ගනිමිනි.

රාජකීයයන් 6 දෙනෙකු 30 වසරක නොඉවසිල්ලට තිත තබයි

ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (09) පැවැත්වුණේ මාස් රාජකීය බොක්සිං..

ඔවුන් 30 වසරක ඉඩෝරයට වර්ෂාව කැන්දාගෙන ආවේ කෙසේද?

තාක්ෂණය, පාද චලනය සහ මනා පුහුණුව ජයග්‍රහණයට මඟ පෑදූ බවයි රාජකීය විදුහල් බොක්සිං පුහුණුකරු අබ්දුල්ලා ඉබුනු පවසන්නේ.

කිහිප වතාවක්ම ශූරතාවය ළඟට ඇවිත් අපට එය අහිමි වුනා. ඒත් මෙදා පාර අපි හොඳ ඒකාග්‍රතාවයකින් පුහුණු වුන නිසා හිතුවා අවුරුදු 30ක දීර්ඝ නැවතුමකට පස්සේ මේක දිනාගන්න පුළුවන් කියලා.”

ඉබුනුගෙන් ක්‍රීඩකයන්ට හයිය

මෙවර ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ අවසන් පූර්ව තරග 8කම ආසන වෙන්කරගන්නට රාජකීය විදුහල් ක්‍රීඩකයන් සමත් වූ අතර ඉන් 6කින් ජයගත් රාජකීයයන් 6 දෙනෙකුම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබීය. එහි දී රන් 4ක්, රිදී 2ක් සහ ලෝකඩ 2ක් ලබාගත් රාජකීය බොක්සිං ක්‍රීඩකයන් වෙනත් කිසිදු පාසලක් හමුවේ නොසැලෙමින් 30 වසරක ඉඩෝරය නිමා කළේය.     

අබ්දුල්ලා ඉබුනු, 2004 වසරේ දී ලෝක කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ 5 වැනි ස්ථානය දිනූ 19න් පහළ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමේ නායකයා ය.

පාසල් ක්‍රීඩකයෙකු වශයෙන් රාජකීය විදුහල නියෝජනය කළ බොක්සිං නායකයෙකු ද වන අබ්දුල්ලා, තමන්ට හොඳින් හුරුපුරුදු රාජකීය බොක්සිං වළල්ල තුළ දී තම ගෝල බාලයන් හා දහදිය හෙලූ අතර ඒ සෑම දා බිඳුවකම ප්‍රතිඵලය දැන් ඔහුට ලැබී ඇත. ඔහුට ආදී රාජකීයයන් වූ එම්. නිස්තාර් ආදී ක්‍රීඩකයන්ගේ සහය ද ලැබිණි.

නිස්තාර්ගෙන් සහාය

සෑම වසරක දී මෙන්ම 2017 කණ්ඩායම රාජකීය විදුහලෙන් බිහි වූ දක්ෂ බොක්සිං කණ්ඩායමකි. 2001 වසරේ සිට ආදී රාජකීයයෙකු වන හෙළ ක්ලෝදින් අධිපති ඩයන් ගෝමස් මැතිතුමන්ගේ (බොක්සිං සංගමයේ හිටපු සභාපති) අනුග්‍රහය ද හිමිව ඇති රාජකීය විදුහල් බොක්සිං කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසුණේ එම්. එම්. අහමඩ්ගේ නායකත්වයෙනි.

අපි මහන්සියෙන් ප්‍රැක්ටිස් කළා. මෙතන ඉන්න ගොඩක් අය ලාබාල ක්‍රීඩකයෝ. ඒ අයට තව අවුරුද්දක්වත් බොක්සිං ගහන්න පුළුවන්.” ජයග්‍රහණයෙන් පසු අහමඩ් එසේ කීය.

උප නායක කෙවින් ප්‍රියසිංහ ආබාධයක් නිසා තරගාවලියට සහභාගී නොවූ අතර ඉන් කිසිදු අඩුපාඩුවක් රාජකීයයන්ට සිදු නොවූයේ ශූරතාවය මේ වන විටත් ඔවුන් සතුව පැවතීම හේතුවෙනි.

රාජකීය විද්‍යාලයේ පාලක කාරකාදීන්ට සහ රාජකීය විදුහල් බොක්සිං සමාජයට ස්තුතිවන්ත වෙමින් තම කතාබහ අවසන් කළ අබ්දුල්ලාගේ බලාපොරොත්තුව වන්නේ රාජකීය කණ්ඩායම සමඟින් තවත් ජයග්‍රහණ ලැබීමයි. තරගාවලියේ “තාක්ෂණයෙන් යුත් ක්‍රීඩකයා” නම් සම්මානය රාජකීය විදුහලේ භාතිය නේරංජන හට හිමි විය.

100 වැනි ස්ටබ්ස් පළිහ තමන් සතුකරගත් රාජකීය විදුහල් බොක්සිං සමාජය

100 වැනි ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ ශූරතාවය ලබාගත් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම.

  • එම් . අහමඩ් – රන් (52kg)
  • වී. හෙට්ටිආරච්චි – රන් (56kg)
  • භාතිය නේරංජන – රන් (56kg)
  • පී. සමරසිංහ – රන් (60kg)
  • එම්. ආසින් – රිදී (60kg)
  • වී. ආටිගල – රිදී (64kg)
  • ඒ. අල්තාෆ් – ලෝකඩ (49kg)
  • එම්. ඉෂාක් – ලෝකඩ (52kg)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<