හයිඩ්‍රාමණී සහ ජෝසප් වාස් ආධුනික වොලිබෝල් ශූරතා දිනයි

Munchee National Novices Under 25 Volleyball Championship 2023

387
Hirdaramani & Joshep Vaz wins munchee national novices 2023

2023 Munchee ආධුනික වොලිබෝල් තරගාවලියේ ශූරතා ජයග්‍රහණය කිරීමට හයිඩ්‍රාමණී (කාන්තා) සහ ජෝසප් වාස් (පිරිමි) කණ්ඩායම් ඊයේ (17) දිනයේ දී සමත් වුනා.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සැප්තැම්බර් මුල සතියේ දී ආරම්භ වූ අතර, පළාත් මට්ටමින් පැවැත්වුණු මූලික වටයේ තරග සඳහා වයස අවුරුදු 25ට අඩු තරගකරුවන්ට තම ප්‍රදේශය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනා.

මාස තුනකට අධික කාලයක් මුළුල්ලේ පැවැත්වුණු තරග රැසකින් අනතුරුව පිරිමි අංශයෙන් ජෝසප් වාස්, රුවන්වැල්ල රාජසිංහ, සිංහ සහ දොරවක විජය යන කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර හයිඩ්‍රාමණී, Bitulink, සංඝමිත්තා සහ හුංගම විජයබා යන කණ්ඩායම් කාන්තා අංශයෙන් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ඉන් පසුව පැවැත්වුණු පිරිමි අංශයේ අවසන් පූර්ව තරග වල දී ජෝසප් වාස් සහ රාජසිංහ කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගත්තා.

  • ජෝසප් වාස් සහ සිංහ;

2-0 (25-21, 25-21)

  • රුවන්වැල්ල රාජසිංහ සහ දොරවක විජය;

2-0 (25-16, 25-21)

මේ අතර කාන්තා අංශයේ අවසන් පූර්ව තරගවලින් ජයග්‍රහණ ලැබීමට හයිඩ්‍රාමණී සහ Bitulink කණ්ඩායම් විසින් සමත් වුනා. මෙහි දී හයිඩ්‍රාමණී ක්‍රීඩිකාවන් විසින් සංඝමිත්තා කණ්ඩායමට එරෙහිව තරග වට 2-0ක ජයග්‍රහණයක් ලැබුවේ සිය ප්‍රතිවාදීන්ට තරග වට දෙකේ දී ම ලකුණු 2ක් පමණක් ලබා දෙමින් වීම විශේෂත්වයක්.

  • හයිඩ්‍රාමණී සහ සංඝමිත්තා;

2-0 (25-01, 25-01)

  • Bitulink සහ හුංගම විජයබා; 2-0 (30-28, 25-17)

මේ අනුව අවසන් පූර්ව වටයෙන් ඉවත් වූ කණ්ඩායම් තරගාවලියේ තෙවන ස්ථාන වෙනුවෙන් සටන් වැදුණු අතර එම තරග ජය ගැනීමට සිංහ සහ සංඝමිත්තා කණ්ඩායම් විසින් සමත් වුනා.

පිරිමි

  • සිංහ සහ දොරවක විජය;

2-0 (25-14, 25-19)

කාන්තා

  • සංඝමිත්තා සහ හුංගම විජයබා;

2-1 (19-25, 29-27, 25-19)

මින් අනතුරුව ඊයේ දිනයේ දී තරගාවලියේ අවසන් තරග ද්විත්වය පැවැත්වුණු අතර එහි දී තරග වට 3-1ක් ලෙස පිරිමි ශූරතාවය ජයග්‍රහණය කිරීමට ජෝසප් වාස් කණ්ඩායම විසින් සමත් වුනා. තරගයේ පළමු වටය රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළ නමුත් ඉන් පසුව විශිෂ්ට ලෙස නැවත තරගයට පිවිසීමට ජෝසප් වාස් ක්‍රීඩකයින් සමත් වීම විශේෂත්වයක්.

  • ජෝසප් වාස් සහ රාජසිංහ;

3-1 (31-33, 25-18, 25-12, 25-23)

එමෙන්ම කාන්තා අංශයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට හයිඩ්‍රාමණී කණ්ඩායම විසින් සමත් වුනේ Bitulink ක්‍රීඩිකාවන්ට තරග වට 3-0ක පරාජයක් උරුම කර දෙමිනුයි.

  • හයිඩ්‍රාමණී සහ Bitulink;

3-0 (25-11, 25-23, 25-22)

ඒ අනුව 2023 Munchee ආධුනික වොලිබෝල් තරගාවලිය එසේ සාර්ථකව අවසන් වුනා.

දේශීය වොලිබෝල් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<