ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රිත්ව කඩුලු පුරාණය

55

ශ්‍රී ලංකා – නවසීලන්ත 2 වැනි විස්සයි විස්ස තරගය නිමා වෙන්නේ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවාසනාවන්ත පරාජයක් උරුම කර දෙමිනුයි. මේ හේතුව නිසා ම ජයග්‍රහණය කිරීමට තිබූ තරගාවලිය 1-1ක් ලෙසින් සම ව නිමා වන අතර අවසන් තරගයේ පරාජයට විශේෂයෙන් ම බලපෑවේ Lockie Ferguson විසින් වාර්තා කළ කඩුලු ත්‍රිත්වය හෙවත් Hat-trick එක හේතුවෙනුයි. 

මේ තරග ප්‍රතිඵලයත් සමඟින් මේ නිමා වූයේ ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරග ඉතිහාසයේ 10 වැනි තරගාවලියයි. නවසීලන්තය මෙම තරගාවලිය හා එක් වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ව 2016, 2019, නැවතත් 2019 සහ 2023 වසරවල දී පිට පිට සිව් වතාවක් ජය ගත් කණ්ඩායම ලෙසයි.  

නමුත් මේ ලත් ප්‍රතිඵලයත් සමඟින් එතෙක් ජයග්‍රාහී නවසීලන්ත ගමන් මඟ නතර කිරීමට මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වෙනවා. මේ දෙරට ඉතිහාසයේ තරගාවලියක් සම සම ව නිමා වූ තෙවැනි අවස්ථාවයි. ශ්‍රී ලංකා – නවසීලන්ත තරග ඉතිහාසයේ 2013 වසරෙන් පසුව මෙතෙක් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි වී ඇති අතර ඒ හේතුවෙන් ම ඔවුන්ගේ තරගාවලි ජයග්‍රහණයක් හිමි නොවූ ලැයිස්තුව තවත් දිගු වීමක් ද මෙම තරගාවලි නිමාවත් සමඟින් සිදු වූවා.  

තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව 2 වැනි තරගයේ දී තරග බිමට පිවිසිය ද එම තරගාවලි ජයග්‍රහණයක සිහිනය බිඳ හෙළු ක්‍රීඩකයා බවට පත් වූයේ නවසීලන්තයේ 33 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යැවූ Lockie Ferguson. මේ ඔහුගේ වසර 7ක විස්සයි විස්ස තරග දිවියේ මංගල කඩුලු ත්‍රිත්වය වන අතර නවසීලන්ත පන්දු යවන්නෙක් ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද 2 වැනි කඩුලු ත්‍රිත්වය ලෙසින් ද මෙය ඉතිහාසයට එක් වූවා. 

ලෝක විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා කඩුලු ත්‍රිත්වයන් 64ක් වාර්තා වී ඇති අතර ඒ අතුරින් වැඩිම කඩුලු ත්‍රිත්වයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව යි. ඔවුන් 7 වරක දී ඒ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දී ඇති අතර ශ්‍රී ලංකාව එහි 2 වැනි ස්ථානයට පත් වෙමින් අවස්ථා 5ක දී ඊට මුහුණ දී සිටිනවා.   

ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා වූ කඩුලු ත්‍රිත්ව පෙළගැස්ම 

  පන්දු යවන්නා  රට  දැවී ගිය ක්‍රීඩකයන්  දැවී ගිය ආකාරය  වසර 
1  Jacob Oram  නවසීලන්තය  ඇන්ජලෝ මැතිව්ස්  Ct & Bowl  2009 
මාලිංග බණ්ඩාර  c Brendon McCullum 
නුවන් කුලසේකර  c Neil Broom 
2  Faheem Ashraf  පාකිස්තානය  ඉසුරු උදාන  c Hasan Ali  2017 
මහේල ජයවර්ධන  c Babar Azam 
දසුන් ශානක  lbw 
3  Mohammad Hasnain  පාකිස්තානය  භානුක රාජපක්ෂ  lbw  2019 
දසුන් ශානක  c Umar Akmal 
ශෙහාන් ජයසූරිය  c Ahmed Shehzad 
4  Karthik Meiyappan  UAE  භානුක රාජපක්ෂ  c Kashif Daud  2022 
චරිත් අසලංක  c Vriitya Aravind 
දසුන් ශානක  Bowled 
5  Lockie Ferguson  නවසීලන්තය  කුසල් පෙරේරා  c Mitchell Hay  2024 
කමිඳු මෙන්ඩිස්  lbw 
චරිත් අසලංක  c Mitchell Hay 

 

ශ්‍රී ලංකාවට එරෙහි ව හා හා පුරා කියා පළමු වරට කඩුලු ත්‍රිත්වයක් වාර්තා වන්නේ 2009 වසරේදීයි. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නවසීලන්තය සමඟින් පැවැති තරගයේ දී ඔවුන් මෙම තරග වාර්තාවන් හා එක් වෙද්දී ඊට පෙර ලෝකයේ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ එවැන්නක් වාර්තා වී තිබුණේ එක් වරක් පමණයි.  

ඒ මේ වෙද්දී ඊට වැඩි ප්‍රමාණයකින් දායකත්වය දක්වා ඇති බංග්ලාදේශයයි. ඒ අනුව ලෝකයේ විස්සයි විස්ස පිටියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමේ ගෞරවය දිනා ගන්නේ ඔස්ට්‍රේලියාවේ Brett Lee වන අතර, ඊට ගොදුරු වෙන්නේ Shakib Al Hasan, Mashrafe Mortaza සහ Alok Kapali යි.  

2007 වසරේ සැප්තැම්බරයේ දී ඒ උදා වූ පළමු අවස්ථාවෙන් හරියට ම වසර 2ක් පිරීමට දින 14ක් තිබියදීයි ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ. එදා ඒ දක්ෂතාව සිදු කරන්නේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Jacob Oram විසිනුයි. එම තරගයෙන් අනතුරු ව 2012 වසරේ දී මෙරට දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි ව ම පිටියට පිවිසෙමින් ඔහු විස්සයි විස්ස පිටියට සමු දෙනවා. නමුත් එම තරගයේ දී ඔහුට කිසිදු කඩුල්ලක් ලබා නොදීමට ශ්‍රී ලංකාව පරිස්සම් වෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහි ව නැවත කඩුලු ත්‍රිත්වයක් වාර්තා වෙන්නේ පළමු කඩුලු ත්‍රිත්වයෙන් අනතුරු ව ගෙවුණු 8 වැනි වසරේයි. ඒ වෙද්දී ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට අවස්ථා 2ක දී එක් ව තිබීම විශේෂත්වයක්. ඒ තිසර පෙරේරා 2016 වසරේ දී ඉන්දියාවට එරෙහිවත් සහ ලසිත් මාලිංග 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහිවත් කඩුලු ත්‍රිත්වයන් වාර්තා කරගනිමිනුයි.  

පාකිස්තානයේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Faheem Ashraf 2017 වසරේ දී එම දක්ෂතාව සිදු කරනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තමන් මුහුණ දුන් 3 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී වන අතර ඒ වෙද්දී ඔහු ජාත්‍යන්තර පිටියට එක් වී ගත වී තිබුණේ දින 45ක් පමණයි.  

තවමත් 30 වැනි වියේ පසුවෙන Faheem Ashraf මේ වෙද්දී විස්සයි විස්ස තරග 48ක දී කඩුලු 36ක් ලබා ගෙන සිටිය ද 2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ඔහු ව මෙතෙක් පාකිස්තාන කණ්ඩායමට කැඳවා නැහැ.  

ශ්‍රී ලංකාවට එරෙහි ව 3 වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා වන්නේ 2 වැනි කඩුලු ත්‍රිත්වය වාර්තා වීමෙන් අනතුරු ව වසර 2ක් ගතවීමට තවත් දින 17ක් තිබිය දීයි. එවර ද එම අවස්ථාව උදාකර ගන්නේ පාකිස්තාන ජාතිකයෙක් විසින් විම විශේෂත්වයක්. එවර එහි ගෞරවය දිනා ගන්නේ දකුණතින් වේග පන්දු යැවූ Mohammad Hasnain.  

ඒ වෙද්දී ඔහු වයස අවුරුදු 19ක නාඹර වියේ පසු වූවෙක් වූ අතර එම තරගය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ 2 වැනි තරගය ලෙසයි සටහන් වූයේ. 2019 වසරේ මැයි මාසයේ දී එංගලන්තයට එරෙහි ව විස්සයි විස්ස වරම් හිමි කර ගන්නා Mohammad Hasnain එම වසරේ ම ඔක්තෝබරයේ දී මෙම දක්ෂතාව සිදු කරනු ලැබූවත් ඊට පසුව වසර 3ක් ගෙවී ගිය තැන උදා වූ 2022 ඔක්තෝබරයෙන් පසුව ඔහුගේ සේවය පාකිස්තානයට මෙතෙක් අවශ්‍ය වී නැහැ.  

ඔහු ලබා ගත් මෙම කඩුලු ත්‍රිත්වයේ 2 වැනි ගොදුර බවට පත් වෙන්නේ එවකට කණ්ඩායමේ නායකයා වූ දසුන් ශානකයි. ඒ වෙද්දී ඔහු ඊට පෙර කඩුලු ත්‍රිත්වයේ ද ගොදුරක් බවට පත් ව සිටියා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව පිට පිට වාර්තා වූ කඩුලු ත්‍රිත්වයන් 2ක ක එක ම සාමාජිකයා බවට ද පත් වෙමින් වාර්තා පොත් අතරට එක් වූවා. 

මෙම කඩුලු ත්‍රිත්වය ලෝක ඉතිහාසයට එක් වෙද්දී ලසිත් මාලිංග නැවත වතාවක් ඊට එක් ව තිබුණා. ඒ 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමිනුයි.  

ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා වූ කඩුලු ත්‍රිත්වයෙන් අනතුරු ව නැවත කඩුලු ත්‍රිත්වයක් වාර්තා වෙන්නේ 2022 වසරේදීයි.  

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ඇති කඩුලු ත්‍රිත්වයන්ගේ වාර්තා පොත නැවත යාවත්කාලීන කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දකුණතින් පා දඟ පන්දු යැවූ Karthik Meiyappan විසිනුයි. 

ඔහුගේ මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා වෙද්දී ගෙවී ගිය එම වසර ත්‍රිත්වයේ දී ලෝක ඉතිහාසයට තවත් කඩුලු ත්‍රිත්වයන් 30ක් එක් ව තිබුණා. ඒ අතර 2021 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව අකිල දනංජය ද සහ එම වසරේ දී ම දකුණු අප්‍රිකාවට එරෙහි ව වනිඳු හසරංග ද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් කළ කඩුලු ත්‍රිත්වයන් ද්විත්වයක් ද වාර්තා වී තිබුණා. 

කෙසේ වෙතත් Karthik Meiyappan විසින් වාර්තා කළ මෙම කඩුලු ත්‍රිත්වය ලෝක ඉතිහාසයේ මෙන් ම මෙරට ඉතිහාසයේ ද සුවිශේෂී ඡේද කිහිපයක ම සටහන් වූවා. 

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටකට එරෙහි ව එහි අනුබද්ධ සාමාජිකත්වය හිමි රටක පන්දු යවන්නෙක් විසින් ලබා ගත් පළමු කඩුලු ත්‍රිත්වය ලෙසින් මෙය ලෝක ඉතිහාසයට එක් වූ අතර එය මෙරට ඉතිහාසය හා එක් වෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කළ පළමු සහ එක ම දඟ පන්දු යවන්නා ලෙසයි. එමෙන් ම එය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාවට එරෙහි ව මෙතෙක් වාර්තා වූ එක ම කඩුලු ත්‍රිත්වය ලෙසින් ද එය ඉතිහාසයේ සටහන් වෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහි ව තෙවැනි වරට වාර්තා වූ කඩුලු ත්‍රිත්වයෙන් වසර 3කුත් දින 13ක් ගත වූ තැන Karthik Meiyappan විසින් වාර්තා කරන ලද මෙම කඩුලු ත්‍රිත්වය සපිරි තරගාවලිය ඔහුගේ මෙතෙක් විස්සයි විස්ස තරග දිවියේ අවසන් තරගාවලිය ද වුනා. එතැන් සිට එක්සත් අරාබී එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19කට මුහුණ දී ඇති අතර ඒ එකඳු තරගයකට හෝ ඔහු ව කැඳවා නැහැ.  

මෙම කඩුලු ත්‍රිත්වයේ දී දසුන් ශානක නැවත ඊට මැදිහත් වූ සාමාජිකයෙක් වෙන අතර ඒ අනුව මෙරට ඉතිහාසයේ පිට පිට කඩුලු ත්‍රිත්වයන් 3කට දායක වූ එක ම පිතිකරු බවට ද ඔහු පත් වුනා. 

එතැන් සිට වසර 2කුත් දින 23ක් ගිය තැන උදා වූ නවසීලන්ත කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ දී නැවත වතාවක් ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රිත්ව කඩුලු පුරාණය එළියට එනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වසරේ මාර්තු මාසයේ දී බංග්ලාදේශයට එරෙහි ව නුවන් තුෂාර ද කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් ව සිටියා.   

නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහි ව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන්නේ 2017 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව විස්සයි විස්ස වරම් දිනා ගත් Lockie Ferguson. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තම 43 වැනි තරගයේදීයී 

නිමා වූ මෙම තරගයේ වීරයා ලෙසින් ද සම්මානයට පත් වීමට ඔහුගේ දක්ෂතා ඉවහල් වූ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව එතෙක් කඩුලු ත්‍රිත්වයන් වාර්තා කළ කිසිදු ක්‍රීඩකයෙක් ගේ දක්ෂතාවන් එලෙසින් අගය කිරීමකට ලක් නොවීම විශේෂත්වයක් ලෙසින් ද හැඳින්විය හැකියි.   

Lockie Ferguson ශ්‍රී ලංකාව සමඟින් එළැඹෙන එක්දින තරගාවලියට ද එක් වීමට නියමිතයි. මේ වෙද්දී ඔහු ඊට එක් වීමට සූදානම් වෙන්නේ එක්දින ජාත්‍යන්තර කඩුලු ශතකයකට තවත් එක් කඩුල්ලක් පමණක් අඩුවයි. එ බැවින් එම තරගාවලියේ දී ද ඔහුට සුවිශේෂී කඩඉමකට පිවිසීමේ ඉඩ විවර වී තිබෙනවා. 

කෙසේ වෙතත් නිමා වූ විස්සයි විස්ස තරගයේ දී ඔහු ලබා ගත් කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූවන් අතර නායක චරිත් අසලංක ද වන අතර, ඔහු මේ කඩඉමේ කඩුලු පූජා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර 2 වැනි නායකයා මෙන් ම පිට පිට වාර්තා වූ කඩුලු ත්‍රිත්වයක අවස්ථා 2කට එක් වූ 3 වැනි පිතිකරු බවට ද පත් වුනා. චරිත් මෙම වසරේ දී සේ ම ඊට පෙර කඩුලු ත්‍රිත්වයක් වාර්තා වූ 2022 වසරේ ද ඊට ගොදුරු වූවා. 

කඩුලු ත්‍රිත්වයකට ගොදුරු වූ නායකයෙක් ලෙසින් මීට පෙර මෙම ලැයිස්තුවේ රැඳී සිටියේ දසුන් ශානක පමණක් වන අතර ඔහු 2017, 2019 සහ 2022 වසරවල පිට පිට වාර්තා වූ කඩුලු ත්‍රිත්වයන් 3ක දී ම ඊට එක් ව සිටිනවා. පිට පිට කඩුලු ත්‍රිත්වයන් ද්විත්වයකට බිලි වූ අනෙක් පිතිකරු බවට පත් ව සිටින්නේ භානුක රාජපක්ෂයි. ඔහු මීට පෙර 2019 සහ 2022 වාර්තා වූ කඩුලු ත්‍රිත්වයන් හී සාමාජිකයෙක් ව සිටියා.   

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<