එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ දී සත්කාරක දේශයට එරෙහිව හොඳ තරගයක් ලබා දීමට බලාපොරොත්තුවෙන් පසුවන බව බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හශාන් තිලකරත්න මහතා පවසනවා.
කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතු ව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් Bangladesh Cricket League නමින් දෙදින ක්‍රිකට් තරගාවලියක් මේ වන විට ආරම්භ කර ඇති අතර, මේ නිසා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පළමු වතාවට රතු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද උදා වී තිබෙනවා.
ප්‍රධාන ක්‍රීඩිකාවන් කණ්ඩායම් තුනකට බෙදීමෙන් පසුව මෙම තරගාවලිය පවත්වා ඇති අතර, ඊට අමතරව ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර දින දහයක පුහුණු කඳවුරක් පවා පැවැත්වීමට BCBය විසින් පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ එක් වූ හිටපු ශ්‍රී ලංකා නායක හශාන් තිලකරත්න මහතා විසින් BCBය විසින් ගෙන ඇති මෙම තීරණ අගය කිරීමට ලක් කර තිබෙනවා.
“මේ සූදානම් වීම ඉතාම හොඳයි. ඔවුන්ගේ ක්‍රීඩාව දියුණු කර ගැනීමට මේ දෙදින තරගාවලිය උදව් වේවී. ඔවුන් මේ තරගාවලිය ක්‍රීඩා කළායින් පසුව ගොඩක් දේවල් ඉගෙන ගෙන තිබුණා. ඔවුන් ශ්‍රී ලංකාවේ දී ඉතාම හොඳින් තරග කරාවී කියලා මට විශ්වාසයි.”
එමෙන්ම මෙවැනි තරගාවලියක් ක්‍රීඩා කිරීමට තරම් සිය ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම පිළිබඳවත් ඔහු ඉතා පැහැදීමට පත් වී ඇති අතර, ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත් වන බවත් තිලකරත්න විසින් පවසා තිබුණා.
- බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන නිකුත් කරයි
- පුළුවන් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න – ජයසූරිය
- අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- ටෙස්ට් ජයක් සොයා ශ්‍රී ලංකාවට එන බව අයර්ලන්තය නායකයා පවසයි!
නමුත් හශාන් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම් ලැබීමෙන් පසු බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළ තරගාවලි දෙකේ ම (නවසීලන්තය සමඟ සහ විස්සයි විස්ස ලෝක කුසලානය) බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක ගත නොහැකි වූ අතර, ඒ පිළිබඳ හශාන් නම් දරන්නේ වෙනස් ම මතයක්.
“ඔව් ඇත්ත, අපි ලෝක කුසලානයේ දී අවාසනාවන්ත ලෙස අසාර්ථක වුනා. නමුත් ඒ තරගාවලියේ ගොඩක් ධනාත්මක දේවල් සිදු වුනා, ක්‍රීඩිකාවන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”
අදාළ තරගවල දී තම ක්‍රීඩිකාවන්ගේ සැබෑ ම දක්ෂතා එළි දැක්වීමට හැකියාවක් නොලැබුණත් ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් හොඳින් ක්‍රීඩා කරනු ඇති බවට හශාන් විශ්වාසය පළ කරනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීම සඳහා තමන්ට සැලසුම් ඇති නමුත්, ඒවා සාකච්ඡා කිරීමට මෙය සුදුසු වෙලාව නොවන බවයි හශාන් වැඩිදුරටත් පවසා තිබුණේ.
Cricbuzz වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී හශාන් විසින් මේ අදහස් පළ කර ඇති අතර බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අන්තර්ගත වන අතර තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<