ඉන්දීය ක්‍රිකට් නායිකාවට ICCයෙන් දඬුවම්

5827

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකා Harmanpreet Kaur හට සිය තරග ගාස්තුවෙන් 75%ක දඩයක් සහ දඬුවම් ලකුණු හතරක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. 

ඒ ඇය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගයේ දී පෙන්නුම් කළ ආවේගශීලී හැසිරීම් සහ විනිසුරුවන්ට එල්ල කළ වාග් ප්‍රහාර නිසාවෙනුයි. එම වරද පිළිබඳ සිදු කළ විමර්ශනවලින් පසුව තරග තීරකවරයා එය දෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස ලැයිස්තු ගත කර තිබුණා.   

මෙම තරගයේ විනිසුරුවන් ලබා දුන් තීරණයට සිය විරෝධය දක්වමින් Kaur සිය පිත්තෙන් කඩුලුවලට පහර එල්ල කළ අතර එයට පෙර ඇය විනිසුරුවරයා සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදු කරනු ද දක්නට ලැබුණා. 

පසුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේ දී ඇය විනිසුරුවරුන්ට චෝදනා එල්ල කළ අතර එයින් පසුව කුසලානය ලබා දෙන අවස්ථාවේ දී ද ඇය තරග විනිසුරුවරයන්ට වාග් ප්‍රහාර එල්ල කළා. 

“පිටිය තුළ සිදු වූ දෙයට (කඩුල්ලට පහර දීම) ඇයට තරග ගාස්තුවෙන් 50%ක දඩයක් සහ පසුව සිදු වූ දෙයට ඇයට 25%ක දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා,” යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

එම පිටිය තුළ සිදු වූ දෙයට ඇයට දඬුවම් ලකුණු තුනක් සහ අවසානයේ විනිසුරුවරයන්ට එල්ල කළ චෝදනා නිසා තවත් දඬුවම් ලකුණක් හිමි වෙනවා. 

මෙම සිදු වීම තරගය අවසන් වීමෙන් පසුව ද නිමා නොවූ අතර තරගය අවසන් වී සමූහ ඡායාරූප ලබා ගන්නා අවස්ථාවේ ද ඉන්දීය නායිකාව විසින් බංග්ලාදේශ නායිකාවට යම් ප්‍රකාශ සිදු කරනු දක්නට ලැබුණා. 

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

Cricbuzz ඇසුරිනි.  

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<